විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සතු වාර්තාවක් සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ සමත් විය.
තරගාවලියේ 18 වැනි තරගය ලෙස ඊයේ පෙරවරුවේ පැවති තරගයේදී උගන්ඩාව ලකුණු 39කට දවා ගැනීමට කොදෙව් පිල සමත් වූ අතර, මේ තරගයෙන් ඔවුන්ට ලකුණු 134ක දැවැන්ත ජයක් හිමි විය. විස්සයි20 තරගයක දී කොදෙව් පිල වැඩි ලකුණු පරතරයකින් ජයගත් තරගය ද මෙයයි.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 173ක් රැස් කළ අතර, උගන්ඩා පිළිතුරු ඉනිම ලකුණු 39කට සීමා වූයේ ඕවර 12කදීය.
මෙය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු ගණන සමවීමක් ද විය. මින් පෙර 2014 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා පිල හමුවේ නෙදර්ලන්තය ලකුණු 39කට දැවී ගොස් තිබිණි. කෙසේ වෙතත් ඒ සඳහා ශ්රී ලංකා පිලට වැය වී තිබුණේ ඕවර 10.3ක් පමණි.
ජුමා මියාගි නොදැවී ලකුණු 13ක් රැස් කරමින් උගන්ඩා ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළ එකම පිතිකරු බවට පත්වූ අතර, පන්දු යැවීමේදී සිය හොඳම විස්සයි20 පන්දු යැවීමට අකීල් හොසේන් සමත් වූයේ ලකුණු 11කට කඩුලු 5ක් බිඳ දමමිනි. එය මෙවර තරගාවලියේ දෙවැනි හොඳම පන්දු යැවීම ද විය.
කොදෙව් පිල වෙනුවෙන් ජොන්සන් චාර්ල්ස් ලකුණු 44ක්, ඇන්ඩ්රි රසල් පන්දු 17කින් නොදැවී ලකුණු 30ක් රැස් කළහ. පන්දු යැවීමේදී බ්රයින් මසබා කඩුලු 2ක් දවා ගත්තේය.
The post කොදෙව්වෝ ශ්රී ලංකා වාර්තාවක් සම කරති appeared first on දිනමිණ.