‘ඩී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන
රට තරග ජය පරාජ ලකුණු ද.ල.වේ
දකුණු අප්‍රිකාව 2 2 0 4 0.789
බංග්ලාදේශය 1 1 0 2 0.379
නෙදර්ලන්තය 2 1 1 2 0.024
නේපාලය 1 0 1 0 -0.539
ශ්‍රී ලංකාව 2 0 2 0 -0.777
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු නැති ඩොට් බෝල 57ක් වාර්තා විය. පැතුම් නිශ්ශංක ඩොට් බෝල 10ක්, චරිත් අසලංක ඩොට් බෝල 9ක්, ඇන්ජලෝ මැතිව්ස් ඩොට් බෝල 8ක් හා ධනංජය ද සිල්වා ඩොට් බෝල 7ක් ලෙස පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටියහ.
ශ්‍රී ලංකා පිල සහභාගිවූ දකුණු අප්‍රිකාව සමඟ පළමු තරගයේදී ද ලකුණු නැති ‘ඩොට් බෝල’ 74ක් වාර්තා වූ හෙයින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහභාගී වූ තරග දෙකකදී පමණක් ලකුණු නැති ‘ඩොට් බෝල’ 131ක් ශ්‍රී ලංකා පිතිකරුවෝ සටහන් කළහ.
විස්සයි20 වැනි වේගවත් තරගයකදී මේ ආකාරයේ ලකුණු නැති ඩොට් බෝල වාර්තා වීමෙන් පරාජයේ දොරටු විවරවීම අනිවාර්ය ප්රතිඵලයකි. මේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වයිඩ් පන්දු 12ක් යොමු කිරීමෙන් බංග්ලාදේශ ඉනිම ඕවර 22ක් බවට පත් කිරීම ද අමතක නොකළ යුතුය.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් බංග්ලාදේශය පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක ජයක් වාර්තා කළ හෙයින් ශ්‍රී ලංකා පිලට සුපිරි 8 වටයට යෑමේ අවස්ථා අවම වී තිබේ. එසේ වුවහොත් ශ්‍රී ලංකා පිල මේ මස 18 වැනිදා ශ්‍රී ලංකාව බලා පැමිණිය යුතුය. ශ්‍රී ලංකාවට අනිද්දා නේපාලය සමඟ තරගය හා 17 වැනිදා නෙදර්ලන්තය සමඟ තරගය පමණක් මූලික වටයේදී ඉතිරිව ඇත. එම තරග දෙකම ජයගතහොත් ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වේ. දකුණු අප්‍රිකාව සහභාගි වූ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් ලබා සිටින අතර, තවත් තරග 3ක් ඉතිරිව ඇති බංග්ලාදේශය ලකුණු 2ක් ලබා සිටිති.
ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ තරගයේදී 12 වැනි ඕවරය අවසන් වෙද්දී කඩුලු 3කට ලකුණු 91ක් ලබා බංග්ලාදේශය පහසු ජයක් අපේක්ෂා කළද නුවන් තුෂාර (18/4) හා වනිඳු හසරංග (32/2) පන්දු යැවීම හමුවේ තරමක් පසුපසට තල්ලුවී ගියේය. ශ්‍රී ලංකාව ඕවර 20කදී කඩුලු 9කට ලකුණු 124ක් ලබාගත් අතර, බංග්ලාදේශය ඕවර 19කදී කඩුලු 8කට ලකුණු 125ක් වාර්තා කළේය.
බංග්ලාදේශ අංක 5 පිතිකරු තව්හිද් හිරිඩෝයි පන්දු 20 කදී ලකුණු 40ක් ලබාගත් අතර, වනිඳු හසරංග යැවූ 12 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වූවේය. ලිටන් දාස් පන්දු 38කදී ලකුණු 36ක් ලැබූ අතර, පළපුරුදු ක්‍රීඩක මුහමුදුල්ලා නොදැවී ලකුණු 16ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම ඕවර 9ක් වෙද්දී කඩුලු 3කට ලකුණු 70ක් වූ අතර, ඕවර් 14 වෙද්දී කඩුලු 4කට ලකුණු 100ක්වී තිබිණි. එහෙත් ඉතිරි පන්දු 36කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 24ක් එක්වෙද්දී පිතිකරුවෝ 5ක් ක්‍රීඩාගාරයට ගියහ.
“පිතිකරුවන් ලකුණු 150-160ක් ලබා ගත්තොත් අපේ පන්දු යැවීමේ ප්‍රහාරයට තරග දිනන්න පුළුවන්. නිමාවූ පසුගිය තරග දෙකේදී පිතිකරුවන් ඒ කාර්යය ඉටු කළේ නෑ” තරගයෙන් අනතුරුව වනිඳු හසරංග පැවැසීය.
“අමෙරිකාවේ අපි මුහුණදුන් තණතිලි වෙනස්. ඇත්තටම අපිට තවත් ලකුණු 20ක් 30ක් අඩු වුණා. මා අවසන් වරට ක්‍රීඩා කළ ඉන්දියාවේ අයිපීඑල් තණතීරුවලට වඩා ගොඩක් වෙනස්. ඇතැම් විට නොසිතූ පරිදි පන්දුව ඉපිලීමක් තියෙනවා” නුවන් තුෂාර තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ප්‍රින්ස් ගුණසේකර
The post ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේදී ඩොට් බෝල වැස්සක් appeared first on දිනමිණ.