ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අවිනිශ්චිත ක්‍රීඩාවක් බවත්, තරග පැවැත්වෙන ඇතැම් දිනවලදී කණ්ඩායමට අවශ්‍ය දේ සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන දිනූ රටක් බැවින් ශක්තිමත් මානසිකත්වයක් ගොඩ නැඟී ඇතැයි ඇය සඳහන් කළාය. දැනට අමෙරිකාවේ විස්සයි20 ලෝක කුසලානයට සහභාගීවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරි තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු දෙනා සුබ පැතුම් එක්කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව පැවැසුවාය.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායිකාව සඳහන් කළාය. එමෙන්ම කණ්ඩායම තුළ අසුබවාදී දේ කතා කිරීම සියලු ක්‍රීඩිකාවන්ට හා කාර්ය මණ්ඩලයට තහනම් කොට තිබීමත් සාර්ථකත්වයට හේතුවක් බව ඇය පෙන්වා දුන්නාය.
“අපේ කාන්තා ටීම් එක ඇතුලේ කාටවත් නෙගිටිව් දේවල් කතා කරන්න තහනම්. ඒක ක්‍රීඩිකාවන්ට පමණක් නොවෙයි. පුහුණුකරුවන්ගේ ඉදලා සියලු දෙනාටම පොදුයි“චමරි අතපත්තු පැවැසූවාය.
ඇය මේ බව පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකයා හඳුන්වා දීම වෙනුවෙන් ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. මෙරටට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය නිපෝන් පේන්ට්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී ‘හොනර්‘ හා සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත.
“ කාන්තා ලෝක කුසලානයට පෙර අපට තරග 6ක් තිබෙනවා. එයින් 5ක් දිනා ගත්තොත් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න පුඵවන්. අපට හොඳ යොවුන් ක්‍රීඩිකාවන් ඉන්නවා. විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩිකාවන්. පසුගිය වසර එකහමාරක කාලයකදී එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව පරාජය කළා. මේ තරගාවලියත් ඉතා හොඳින් අවසන් කිරීමට සූදානම්“ චමරි පැවැසූවාය. “පසුගිය විස්සයි20 ලෝක කුසලානයේදී අපට අවසන් පූර්ව වටයට එන්න බැරි වුණා. මෙවර ලෝක කුසලානයට පෙර අපට තරග 12ක් තිබෙනවා. කොදෙව්වන් සමඟ තරග 3ක්, අයර්ලන්තය සමඟ තරග 2ක් හා ආසියානු කුසලානයේදී තරග 7ක් ලෝක කුසලානයට පෙර තියෙනවා. බංග්ලාදේශයේ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන නිසා දඟ පන්දුවට තරමක් වාසි ලැබෙයි. අපේ දඟ පන්දු යැවීමේ අංශය හොඳයි. පිතිකරණය තව ටිකක් දියුණු මට්ටමට ගෙන ආ යුතුයි. අපේ ක්‍රීඩිකාවන් හොඳ කැපවීමක් කරනවා“ ශ්‍රී ලංකා නායිකාවගේ අදහස වූවාය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු රැමේෂ් රත්නායක මහතා පැවැසූවේ කණ්ඩායමේ වෙනස්කම් ඉතා ක්‍රමානුකූලව සිදුවන බවයි.“ අලුත් ක්‍රීඩිකාවන්ට තැනක් දිය යුතුයි. ඒක හරිම පරිස්සමෙන් කළ යුතු දෙයක්. එංගලන්ත සංචාරයට 17ක් ගියා. ඒ සියලු දෙනා ක්‍රීඩා කළා. එංගලන්ත සංචාරයේදීත් ගිය ක්‍රීඩිකාවන් සියලු දෙනාට තැනක් දුන්නා. අනාගතය බලලා ක්‍රීඩිකාවන් ආදේශ කරනවා“ රත්නායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වේ. එම සියලු තරග හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මේ 15 වැනිදා පළමු එක්දින තරගය ආරම්භ වේ.
The post කණ්ඩායම ඇතුළේ අසුබවාදී දේ කතා කිරීම ක්‍රීඩිකාවන්ට තහනම් appeared first on දිනමිණ.