මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය අද (17) පෙරවරු 6.00ට නෙදර්ලන්තයට එරෙහිව සාන්ත ලුසියාහිදී පැවැත්වේ.
මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ශ්‍රී ලංකා පිල යළි සිය රට බලා පැමිණිය යුතු අතර නෙදර්ලන්තයට සුපිරි 8ට එක්වීමේ සියුම් අවස්ථාවක් තිබිණි. කෙසේ වෙතත් ඒ සඳහා ඔවුන් දළ ලකුණු වේගය ඉහළ දමා ගනිමින් ශ්‍රී ලංකා පිල පරාජය කිරීමත්, නේපාලය හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සිදු විය යුතුව තිබිණි.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය විස්සයි20 පිටියේදී තෙවරක් හමුව ඇති අතර, එම තරග 3ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මේ තරගය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එක් වූ අතර, මෙවර තරගාවලියේදී කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඉදිරියට යෑමට නොහැකි වූ බව පැවැසූ ඔහු මේ සම්බන්ධයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව පැවැසීය.
එමෙන්ම කණ්ඩායමේ සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන කනගාටුවෙන් පසුවන බව ද ඔහු කීය.
2014 වසරේ ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා පිලට ඉන් අනතුරුව පැවැති තරගාවලි 4දීම අවසන් පූර්ව වටයට එක්වීමට නොහැකි විය.
මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ මුල් තරග දෙක පරාජය වූ ශ්‍රී ලංකා පිලට නේපාලය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අහිමි වී ගියේය.
මුල් තරග ද්විත්වයේදී පිතිකරු සම්පූර්ණයෙන්ම අසාර්ථක වුවද පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් හොඳින් ක්‍රීඩා කළ බව පවසන මැතිව්ස් අවාසනාවකට එම තරග ජය ගැනීමට නොහැකි වූ බවත් මෙවැනි තරගාවලියකදී එක් පරාජයක් හෝ ලැබුණහොත් ඉදිරියට යෑම ඉතා අසීරු බවත් කීය.
“අපි මුළු රටම පහතට ඇද දැම්මා. අපි ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ සහ රටේ බලාපොරොත්තු විනාශ වුණ එකට. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතැනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි කවදාවත් මේ බලාපොරොත්තු වුණේ නැහැ.” මැතිව්ස් පවසා සිටියේය.
මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවාහන ගැටලු රැසකට මුහුණ දුන් අතර මැතිව්ස් කියා සිටියේ තම ක්‍රීඩා ජීවිතයේ වැඩිම වාර සංඛ්‍යාවක් ක්‍රීඩාංගණ අතර ගමන් කිරීමට සිදුවූයේ මෙවර බවත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය පමණක් මූලික වටයේ තරග 4ක ක්‍රීඩාංගණ 4ක ක්‍රීඩා කළ බවයි. කෙසේ වෙතත් ඒවා කනගාටු විය යුතු දේවල් නොවන බව ඔහු කීය.
“අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. මගේ ජීවිතේ වැඩියෙන්ම ට්‍රැවල් කරපු තරගාවලිය මේක. ඒත් ඒවා කනගාටු විය යුතු දේවල් නොවෙයි. අපි දෙවැනි වටයට සුදුසුකම් නොලැබීම කනගාටුදායකයි. අපේ ප්‍රේක්ෂකයන් අපිට ගොඩක් සහාය දෙනවා. අපිට කනගාටුයි ඔවුන්ට කිසිදෙයක් දෙන්න බැරි වුණ එක ගැන.” “අපි අපටම සාධාරණයක් ඉටුකරගෙන නැහැ. විශේෂයෙන් පළමු තරග දෙකේදී ක්‍රීඩා කළ ආකාරය. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. අපි හදවතින්ම කම්පා වෙනවා. අපිට ගොඩක් රිදෙනවා. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරගයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරගාවලියේ දී අපිට ඒදේ කරගන්න බැරි වුණා.” මැතිව්ස් පැවැසීය.
නිරෝෂාන් ප්‍රියංකර
The post අපට සමා වෙන්න මැතිව්ස් ජාතියෙන් ඉල්ලයි appeared first on දිනමිණ.