ස්පාඤ්ඤයේ බිල්බාවෝහිදී පැවති 19 වැනි බිල්බාඕ රෙයුනියන් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවාය.
මේ තරගාවලියේ මීටර් 600 කාන්තා ඉසව්වට එක්වූ තරුෂි මිනිත්තු 1:24.84කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනාගත් අතර, ඇය වාර්තා කළ කාලය එම ඉසව්වේ නව ආසියානු වාර්තාවක් බවට ද පත් විය. මෙහි පැරණි වාර්තා 2022 වසරේ ජපාන ක්‍රීඩිකාවක විසින් පිහිටුවා තිබුණේ මිනිත්තු 1:28.06 කාලයක් වාර්තා කරමිනි. මීටර් 800 කාන්තා ඉසව්වේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය මිනිත්තු 1:50.30ක් වන අතර, තරුෂි මේ තරගයේදී වාර්තා කළ කාලය මීටර් 800 ඉසව්වෙන් මිනිත්තු 1:59.70කට සමාන වේ. මේ ඉසව්වේ රන් පදක්කම ඉතියෝපියාවේ උපන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙන්ඩරේ ඔබෝයා දිනා ගත්තේ මිනිත්තු 1:24.53කිනි.
මීටර් 800 ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් තරුෂි මේ තරගාවලියට එක්වූ අතර, මේ තරගය මීටර් 600 වුවද මේ මඟින් ඒ සඳහා අවශ්‍ය පරිසාදන ලකුණු එකතු කර ගැනීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.
මේ අතර මීටර් 400 ශ්‍රී ලංකා ධාවන ශූර කාලිංග කුමාරගේ ද මේ තරගාවලියට එක්වූ අතර, ඔහුට එම ඉසව්වෙන් හිමි වූයේ ලෝකඩ පදක්කමයි. එම තරගය නිමා කිරීමට කාලිංග තත්පර 45.91ක කාලයක් ගත කර තිබිණි. කෙසේ වෙතත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නම් ඔහු තත්පර 45.00ට අඩුවෙන් මේ ඉසව්ව නිමා කළ යුතුව තිබිණි.
The post තරුෂිගෙන් ආසියානු වාර්තාවක් appeared first on දිනමිණ.