අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ ඊයේ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයක් හිමි කර ගැනීමට බීආර්සී ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බීආර්සී පිල ලකුණු 154ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිමට අයහපත් කාලගුණයෙන් බාධා වන විට පොලිස් පිල ඕවර 28කදී කඩුලු 9ක් දැවී ලකුණු 134ක් රැස් කර තිබිණි. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට නම් ඔවුන් ඒ වන විට රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 140ක් විය.
මේ තරගයේදී ඩිල්ෂාන් ඩි සොයිසා (71) බීආර්සී පිලටත්, නදීර බාලසූරිය (51) පොලිස් පිලටත් අර්ධ ශතක එක් කළ අතර, පන්දු යැවීමේදී පොලිස් කණ්ඩායමේ හිමේෂ් රාමනායක ලකුණු 18කට කඩුලු 5ක් බිඳ දැම්මේ සිය ‘ඒ’ කාණ්ඩයේ තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසිනි. බීආර්සී කණ්ඩායමේ චමින්ද බණ්ඩාර ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත්තේය.
නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් පිල අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව නිමා විය.
මේ අතර පෙරේදා පැවති රාගම ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට පාණදුර ක්‍රීඩා සමාජයේ නිමේෂ් විමුක්ති සමත්වීම කැපී පෙනිණි.
තරගයේ 22 වැනි ඕවරය යැවූ විමුක්ති එහි සිව්වැනි, පස්වැනි සහ අවසන් පන්දුවලින් පිළිවෙළින් රවිඳු සෙම්බකුට්ටි, නිපුන් මාලිංග සහ පුලින තරංග දවා ගැනීමට සමත් විය.
රාගම ඉනිමේ 22 වැනි පන්දු වාරයේ 4 වැනි, 5 වැනි සහ 6 වැනි පන්දුවල දී ඔහු මේ කඩුලු ත්‍රිත්වය වාර්තා කළ අතර එය ඔහු විසින් යැවුණ සිව් වැනි පන්දු වාරයයි.
මේ තරගාවලියට අද විවේක දිනයක් වන අතර හෙට (22) තරග 8ක් පැවැත්වේ.
The post බීආර්සී පොලිස් පිල පරදවයි appeared first on දිනමිණ.