වසර 21ක් පැරණි වාර්තාවත් අලුත් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගාවලියේ අවසන් තරගය ලකුණු 161කින් ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගත්තේ 3-0ක් ලෙසිනි. ඊයේ තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙස ද සටහන් විය. මින් පෙර 2002 වසරේ මහනුවරදී පාකිස්තාන කාන්තා පිලට එරෙහිව වාර්තා කළ ලකුණු 155ක ජය කාන්තා පිලේ ඉහළම ජයග්‍රහණය ලෙස සටහන්ව තිබිණි.
මෙය ශ්‍රී ලංකා පිල කොදෙව් කාන්තා පිලට එරෙහිව වාර්තා කළ දෙවැනි පූර්ණ එක්දින තරගාවලි ජය වන අතර, මින් පෙර 2003 වසරේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා පිල තරග 6කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 6-0ක් ලෙස ජය ගැනීමට සමත්ව තිබේ. 2008 වසරේ ශ්‍රී ලංකා පිල කොදෙව් කණ්ඩායම පරාජය කළද ඒ 3-2ක් ලෙසිනි.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 276ක ඉලක්කය හමුවේ කොදෙව් ක්‍රීඩිකාවන්ට ඕවර 34.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 115ක් පමණි.
කොදෙව් පිළිතුරු ඉනිමේ මුල සිටම තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත්වූ අතර, කොදෙව් මුල් කඩුලු 2 ලකුණු 5ක් තුළ බිඳ වැටිණි. අනතුරුව තෙවැනි කඩුල්ලට ලකුණු 57ක් එක් කිරීමට චෙඩියන් නේෂන් සහ ස්ටැෆනි ටේලර් (16) සමත් වූහ. ස්ටැෆනි දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, මුළු ලකුණු 69දී චෙඩියන් දැවී ගියාය. ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ චෙඩියන් පන්දු 57කින් ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 7ක් සමඟිනි. වසර දෙකකට පසු එක්දින පිටියට කැඳවූ සචිනි නිසංසලා සිය මංගල එක්දින කඩුල්ල ලෙස සයිඩා ජේම්ස් ලකුණු 5කට දවා ගනිමින් සිය කඩුලු දඩයම ආරම්භ කළ අතර, ඊළඟ ඕවරයේදී තවත් කඩුලු 2ක් බිඳ දැමුවාය.
ආලියා ඇලයින් පන්දු 27කින් ලකුණු 27ක් සහ ක්වයිනා ජෝසප් ලකුණු 11ක් රැස් කළ අතර, ඔවුහු දෙදෙනා ද සචිනි නිසංසලාගේ පන්දු හමුවේ දැවී ගියහ. ඒ අනුව ඇය ලකුණු 28කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත් වූවාය. ඇය ක්‍රීඩා කළ තෙවැනි එක්දින තරගය මෙයයි. ඕෂදී රණසිංහ කඩුලු 2ක් සහ උදේශිකා ප්‍රබෝධනී, චමරි අතපත්තු සහ කාව්‍යා කාවින්දි කඩුල්ලක් බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත් වූයේ ලකුණු 93ක සබඳතාවක් ගොඩනඟමිනි. කෙසේ වෙතත් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් රැස් කර සිටි විශ්මි දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, ලකුණු 6ක් තුළ විශ්ම සමඟ කඩුලු 3ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමේ වේගය අඩාළ විය.
හර්ෂිතා මාධවී සහ හංසිමා කරුණාරත්නට ඊයේ රැස් කළ හැකි වූයේ එක් ලකුණ බැගිනි. අනතුරුව නායිකාව සමඟ එක්වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 57ක සබඳතාවක් ගොඩනඟමින් සිටියදී මුළු ලකුණු 156දී චමරිගේ (91) ඉනිම නිමා වූවාය. ඇය ශතකයට ලකුණු 9ක් පසුපසින් සිටියේ පන්දු 106කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි.
කෙසේ වෙතත් චමරි දැවී යෑමෙන් අනතුරුව නිලක්ෂිට එක්වූ අනුෂ්කා සංජීවනි ඉනිමේ සාර්ථකම සබඳතාව ගොඩනඟමින් කණ්ඩායම ලකුණු 275 සීමාවට රැගෙන ගියාය. ඉනිමේ අවසන් ඕවරයේ පිට පිට පන්දු දෙකකින් ඔවුන් දෙදෙනා දැවී යන විට සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම් ක්‍රීඩා කර තිබිණි. නිලක්ෂි දෙවැනි එක්දින අර්ධ ශතකය ලෙස පන්දු 78කින් ලකුණු 63ක් රැස් කර තිබුණේ හතරේ පහර 8ක් සමඟිනි. අනුෂ්කා මංගල එක්දින අර්ධ ශතකය ලෙස හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 55ක් රැස් කළේ පන්දු 46කදීය. පන්දු යැවීමේදී කරිෂ්මා රාම්හරක් කඩුලු 2ක් දවා ගත්තාය.
ශ්‍රී ලංකා කාන්තා පිල – 275/6 (ඕවර 50) චමරි අතපත්තු 91, නිලක්ෂි ද සිල්වා 63, අනුෂ්කා සංජීවනි 55, විශ්මි ගුණරත්න 44 (කරිෂ්මා රාම්හරක් 46/2)
කොදෙව් කාන්තා පිල – 115 (ඕවර 34.5) චෙඩියන් නේෂන් 46, ආලියා ඇලයින් 27 (සචිනි නිසංසලා 28/5, ඕෂදී රණසිංහ 14/2)
නිරෝෂාන් ප්‍රියංකර
The post වසර 21කට පසු කොදෙව් පිල පරදවා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පූර්ණ තරගාවලි ජයක් ලබති appeared first on දිනමිණ.