Eleven (11) sections of the Public Finance Management Bill are unconstitutional
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී නඩු තීරණයක් ලබා දී තිබෙනවා. ගරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගවිනිසිරිතුමාත්, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ විනිශ්ච මණ්ඩලයකින් සමස්තයක් ලෙස පනත් කෙටුම්පතේ වගන්ති එකොළහක් (11) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කොට තිබෙනවා.
ඉන් පළමු වන වගන්තිය වන්නේ 3(2)(ආ)(iv) වගන්තියයි. මුල් පනත් කෙටුම්පත මගින් අදාළ වගන්තිය යටතේ “අධිකරණ සේවයේ සාමාජිකයින්” පනතේ පාලනයට යොමු කිරීමට උත්සාහයක් තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1) හා 108 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් පනත් කෙටුම්පතේ 71 වෙනි වගන්තියෙන් අධිකරණ සේවයේ සාමාජිකයින් ඉවත් කළ යුතු බවයි.
යෝජිත පනත් කෙටුම්පතේ 5(2)(ඊ) වගන්තිය මගින් රජයට අයත් ව්‍යවසායන්හි ඵලදායී කළමනාකරණය සහ සමස්ත අධීක්ෂණය සඳහා ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සකස් කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා දී තිබුණා. එම පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 43(1,) හා 52(2) වන ව්‍යවස්ථා උල්ලංඝනය වන බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවට පෙන්වා දී තිබෙනවා. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළ යුතු බවට පෙන්වා දී තිබෙනවා.
යෝජිත පනත් කෙටුම්පතේ 32(3) වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව විමසා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් නිදහස් කළ යුතු රජයට අයත් ව්‍යවසායන් කවරේද යන්න තීරණය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 12(1) ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය මුදල් අමාත්‍යවරයාට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.
පනත් කෙටුම්පතේ 32(4) වගන්තිය මගින් පළාත්සභා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවේ අනුමැතිය ඇතිව භාණ්ඩ, සේවා, උපදේශක සේවා, සහ තොරතුරු පද්ධති සම්බන්ධයෙන් පළාත් සභා සදහා ඔවුන්ගේම මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1), 148 සහ 156ඇ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය ද, පළාත් සභාවලට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.
යෝජිත පනත් කෙටුම්පතේ 38(3) රාජ්‍ය සම්පත් බැහැර හැරීම් සම්බන්ධයෙන් ප්රතිපාදනයක් සලසා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 148 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතු බවයි. මෙහි සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි.
මෙම පනත් කෙටුම්පතේ යෝජිතව තිබූ 63 වන වගන්තිය මගින් රාජ්‍ය අස්ථිත්වයක සේවක සංඛ්‍යාව කළමණාකරණය කිරීමේ බලය හා ඔවුන්ගේ වැටුප්, පඩි සහ වෙනත් ගෙවීම් තීරණය කිරීමේ බලය මුදල් අමාත්‍යවරයාට පවරා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව සමඟ එකට කියවෙන 3, 12(l), 55(1), 55(3),108, 111(ඌ)(1)(ආ), 148, 153ඇ, 155උ(1) සහ 156ඊ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනුනුකූලභාවයෙන් මිදීමට නම් එම බලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළයුතු බවයි.
පනත් කෙටුම්පතේ 69(1) වගන්තිය මගින් පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමෙහිලා පැන නගින දුෂ්කරතා ඉවත් කිරීම සඳහා නියෝග පැනවීමේ බලයක් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී තිබුණ. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 76 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. මෙහි ද සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුකර විමසීම සඳහා ඉදිරිපත් වූ SC SD 72/2024 නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන්, නීතීඥ සවණි රාජකරුණා මෙනවියගේ උපදෙස් පරිදි නීතිඥ ධනූෂි කළුපහන, කනිෂ්ක විතාරණ සමඟ දර්ශන වේරදුවගේ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඉදිරිපත් වූ අතර ගරු නීතිපතිතුමා නියෝජනය කරමින් ආචාර්ය අවන්ති පෙරේරා හා මනෝහර ජයසිංහ යන නියෝජ්‍ය සොලිසිටිර් ජෙනරල්වරුන් ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් සහභාගි විය.