පස්වැනි වරට පැවැත්වෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ මූලික වටය යටතේ දඹුල්ලේදී පැවැත්වෙන තරග අද (5) ආරම්භ වෙයි. මේ තරගාවලියේ පල්ලෙකැලේදී පැවති තරග පෙරේදා නිමාවට පත්වූයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අපරාජිතයන් ලෙස පෙරමුණේ තබමිණි.
එහිදී තරග 5ක් පැවති අතර, සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්රීඩා කළේය. එහිදී ගෝල් ක්රීඩකයෝ තරග දෙකම ජය ගනිමින් ප්රසාද ලකුණු 4ක් සමඟ පෙරමුණගත් අතර, කලම්බු පිල ලකුණු 2ක් සමඟ දෙවැනි තැනට පත් විය. ජැෆ්නා, කැන්ඩි සහ දඹුල්ල පිළිවෙළින් තෙවැනි තැන සිට 5 වැනි තැන සිටින අතර, ජැෆ්නා සහ කැන්ඩි ද ජයග්රහණය බැගින් ලබා තිබේ. දඹුල්ලට තරග දෙකම ජය ගැනීමට නොහැකි විය.
මේ තරග නිමා වෙද්දී ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්රනාන්දු වැඩිම ලකුණුලාභියා බවට පත්ව ඇත්තේ ලකුණු 139ක් රැස් කරමිනි. ඔහු ක්රීඩා කළ තරග දෙකේදී පිට පිට අර්ධ ශතක 2ක් (80, 59) රැස් කළ අතර, එල්පීඑල් ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක රැස් කළ පිතිකරු වන්නේද අවිශ්කය. ඔහු මේ වන විට අර්ධ ශතක 12ක් රැස් කර තිබේ. මාක් චැප්මන් (දඹුල්ල) ලකුණු 124ක්, දිනේෂ් චන්දිමාල් (කැන්ඩි) ලකුණු 103ක් රැස් කර ඇති අතර, එල්පීඑල් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළ දඹුල්ල කණ්ඩායමේ කුසල් පෙරේරා සිව්වැනි තැන සිටින්නේ ලකුණු 102ක් සමඟිනි.
එල්පීඑල් ඉතිහාසයේ දෙවැනි කඩුලු ත්රිත්වය වාර්තා කළ කලම්බු කණ්ඩායමේ ශදාබ් ඛාන් කඩුලු 8ක් සමඟ පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින අතර, දසුන් ශානක (කැන්ඩි) සහ දුනිත් වෙල්ලාලගේ (කලම්බු) කඩුලු 4 බැගින් දවා ගෙන තිබේ.
The post ගාලු ක්රීඩකයෝ පල්ලෙකැලේදී පෙරමුණ ගෙන දඹුලු යති appeared first on දිනමිණ.