තියුණු සටනකින් අනතුරුව එංගලන්ත යොවුන් පිල සමඟ පැවති තෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4කින් පරාජය වීමට සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.
මේ හේතුවෙන් තරග 3කින් සමන්විත් එක්දින තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සත්කාරකයෝ සමත් වූයේ 2-1ක් ලෙසිනි.
පෙරේදා (3) හෝව්හිදී පැවති මේ තීරණාත්මක තරගය වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඕවර 45කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 268ක් රැස් කළේය.
එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිලට ඕවර 44.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 260ක් පමණි.
පළමු කඩුල්ල ලකුණු 40දී බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි ගයන වීරසිංහ මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ගිය අතර, මුළු ලකුණු 189දී ඔහු 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 76කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 80ක් රැස් කර තිබිණි. ඉන් පෙර ඔහු මහිත් පෙරේරා සමඟ එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 64ක් එක් කළ අතර, මහිත් ද මේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 54කින් ලකුණු 53ක් රැස් කළේය.
කෙසේ වෙතත් අවසන් කඩුලු 3 ලකුණු 8ක් තුළ දැවීයෑමෙන් ශ්‍රී ලංකා පිලට පරාජය අත්විය. පන්දු යැවීමේදී ෆ්‍රෙඩී මැකාන් සහ හැරී මුවර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලූක් බෙන්කන්ස්ටයින් ශතකයක් රැස් කිරීමට සමත් විය. පන්දු 99කින් ලකුණු 102ක් රැස් කළ ඔහු සිව්වැනි කඩුල්ලට චාලි ඇලිසන් සමඟ එක්ව ලකුණු 184ක සබඳතාවක් ද ගොඩනැඟීය. චාලි ලකුණු 87ක් ඉනිමට එක් කළේය.
පන්දු යැවීමේදී විහස් තෙව්මික කඩුලු 4ක් සහ දිනුර කළුපහන කඩුලු 3ක් බැගින් බිඳ දැමූ අතර, ප්‍රවීන් මනීෂ සහ හිවින් කෙනුල කඩුල්ල බැගින් දවා ගත්හ.
මේ සංචාරය යටතේ දෙපිල අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය ලබන සඳුදා (8) වෝම්ස්ලිහිදී ආරම්භ වීමට නියමිතය.
එංගලන්ත යොවුන් පිල – 268/9 (ඕවර 45) ලූක් බෙන්කන්ස්ටයින් 102, චාලි ඇලිසන් 87(විහස් තෙව්මික 33/4, දිනුර කළුපහන 58/3)
ශ්‍රී ලංකා යොවුන් පිල – 260 (ඕවර 44.4) ගයන වීරසිංහ 80, මහිත් පෙරේරා 53, පුලිඳු පෙරේරා 38, දිනිරු අබේවික්‍රමසිංහ 19 (ෆ්රෙඩීමැකාන් 39/2, හැරී මුවර් 42/2)
The post ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 4කින් එක්දින තරගාවලිය පරදී appeared first on දිනමිණ.