කුසල් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය හිමි කර ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ඊයේ (7) රාත්‍රියේ සමත් විය.
තරගාවලියේ 10 වැනි තරගය ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී දඹුලු පිල හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කලම්බු පිල දුන් ලකුණු 186ක ඉලක්කය හඹාගිය දඹුලු ක්‍රීඩකයෝ පන්දු 13ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගනිද්දී ඔවුන්ට අහිමි වූයේ කඩුලු 2ක් පමණි. දඹුලු ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 50කින් ලකුණු 80ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟිනි. ඔහුට අනගි සහායක් ලබාදෙමින් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 39කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 54ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 154කි. ලකුණු 2ක් තුළ ඔවුන් දෙදෙනා දැවී ගිය අතර, දඹුලු ජය ඉක්මන් කළ මාර්ක් චැප්මන් හයේ පහර 3ක් සමඟ පන්දු 10කින් නොදැවී ලකුණු 23ක් ඉනිමට එක් කළේය. බිඳ වැටුණු දඹුලු කඩුලු 2ම ටස්කින් අහමඩ්ට සතු විය.
ග්ලේන් පිලිප්ස් පන්දු 36කින් ලකුණු 52ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් කලම්බු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඇන්ජලෝ පෙරේරා පන්දු 27කින් ලකුණු 41ක් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 36ක් රැස් කරමින් කලම්බු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නද මැද පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් ඉනිම අග භාගයේදී චාමික කරුණාරත්න නොදැවී ලකුණු 27ක් රැස් කළේ පන්දු 12කදී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි. පන්දු යැවීමේදී මොහොමඩ් නබි සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත්හ.
කලම්බු ස්ට්‍රයිකර්ස් – 185/6 (ඕවර 20) ග්ලේන් පිලිප්ස් 52, ඇන්ජලෝ පෙරේරා 41, රහ්මනුල්ලාහ් ගුර්බාස් 36, චාමික කරුණාරත්න නොදැවී 27 (මොහොමඩ් නබි 20/2, නුවන් ප්‍රදීප් 41/2)
දඹුල්ල සික්සර්ස් – 188/2 (ඕවර 17.5) කුසල් පෙරේරා 80, රීසා හෙන්ඩ්‍රික්ස් 54, මාර්ක් චැප්මන් නොදැවී 23 (ටස්කින් අහමඩ් 45/2)
The post කුසල් දඹුල්ලට පළමු ජය ගෙනෙයි appeared first on දිනමිණ.