ටිම් සෙයිෆර්ට්ගේ වේගවත් පිතිහරඹය සහ ඉසුරු උදානගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීම ගෝල් මාර්වල්ස් ක්‍රීඩකයෝ ඊයේ පස්වරුවේ සමත් වූහ.
දඹුල්ලේ පැවති තරගයේදී ගෝල් පිල හමුවේ කැන්ඩි ෆැල්කන්ස් පිල පරාජයට පත්විය. ගෝල් පිල ජයගත් තෙවැනි තරගය මෙය වන අතර, කැන්ඩි පිල පිට පිට පරාජය වූයේ තෙවැනි වරටය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි පිල කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ගෝල් ක්‍රීඩකයෝ ඕවර 17.1කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 82ක් රැස් කළේ පන්දු 49කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟිනි. නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 12කට දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සෙයිෆර්ට් ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 79ක් එක් කළේ පන්දු 34කිනි. මුළු ලකුණු 91දී හේල්ස් දැවී යන විට පන්දු 19කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 38ක් රැස් කර තිබිණි. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 77ක් වෙද්දී බිඳ වැටුණු අතර, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක වනිඳු හසරංග වේගවත් ඉනිමක නිරත වෙමින් කණ්ඩායම මුළු ලකුණු 175 සීමාවට රැගෙන ගියේ නොදැවී ලකුණු 65ක් රැස් කරමිනි. හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කළ ඔහු පන්දු 32ක් පමණක් වැය කළ අතර, ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 33කින් ලකුණු 58ක් එක් කිරීමට ද වනිඳුට හැකි විය. මැතිව්ස් ලකුණු 25කට දැවී ගිය අතර, ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට උත්සාහ කළ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 36කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි. පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 30කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි. සහූර් ඛාන් කඩුලු 2ක් දවා ගත්තේය.
මේ අතර පෙරේදා පැවති තරග ද්විත්වයේදී ජයග්‍රහණ වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් සමත් විය.
ජැෆ්නා පිල ලකුණු 30කින් දඹුල්ල සික්සර්ස් පිල පරාජය කළ අතර, කලම්බු පිල හමුවේ කැන්ඩි ෆැල්කන්ස් ලකුණු 2කින් පරාජය විය. ජැෆ්නා – කලම්බු තරගයේදී පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ජැෆ්නා පිල වෙනුවෙන් ද රීසා හෙන්ඩ්‍රික්ස් දඹුල්ල වෙනුවෙන් ද අර්ධ ශතක රැස් කළ අතර, අනෙක් තරගයේදී ග්ලේන් පිලිප්ස් (කලම්බු) සහ මොහොමඩ් හාරිස් (කැන්ඩි) අර්ධ ශතක රැස් කළහ. මේ තරගයේදී කලම්බු පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 26කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.
කැන්ඩි ෆැල්කන්ස් – 175/7 (ඕවර 20) වනිඳු හසරංග නොදැවී 65, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 50, ඇන්ජලෝ මැතිව්ස් 25 (ඉසුරු උදාන 30/3, සහූර් ඛාන් 29/2)
ගෝල් මාර්වල්ස් – 176/4 (ඕවර 17.1) ටිම් සෙයිෆර්ට් නොදැවී 82, ඇලෙක්ස් හේල්ස් 38 (ශොරිෆුල් ඉස්ලාම් 32/2)
The post සෙයිෆර්ට්-ඉසුරු ගාල්ල දිනවති appeared first on දිනමිණ.