ලෙනවගේ පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි !

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 ක් බව පැහැදිලි යැයි පෙන්වා දුන් අතර මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය මූලික විරෝධතා මතු කළාය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණ වලට පමණයි.ඒ නිසා පෙත්සම්කරුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් හැකියාවක් නෑ. පෙත්සම්කරු ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු විසින් අනුමත කොට නීතියක් බවට පත් වී තිබෙනවා. එවැනි නීතිගත වූ කරුණකට එරෙහිව කිසිදු අධිකරණයක් නඩු පැවරීමට හැකියාවක් නැහැ. එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණේ කෙසේදැයි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔහුගේ පෙත්සම පදනම් විරහිතයි ” එම නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැහැ’

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 යටතේ මෙවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණයකට පමණයි. පෙත්සම්කරුට එවැනි අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට හැකියාවක් නෑ. මෙම පෙත්සම තුළ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නෑ.” එම නිසා පෙත්සම මුල් අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

එය සලකා බැලීමට තරම් පදනමක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය. හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ ජනාධිපතිවරණය සමයේදී එම ජනාධිපතිවරණය අත් හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු විසින්ම රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්නේය.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව 2019 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

තවත් අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු එය ක්‍රියාත්මක වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් 30(2) වගන්තිය සංශෝධනය කර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට 05 දක්ව අඩුකර තිබෙනවා. දින තුනක් විවාදයකින් පසුව පාර්ලිමේන්තුව එය සම්මත කළා. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියකට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැහැ.” යනුවෙන් සඳහන් කළේය.

තවත් අතරමැදි පෙත්මක් ඉදිරිපත් කර තිබූ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පදනම් විරහිත බවත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඉල්ලා සිටියේය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥ භාවයෙන් ඉවත් කර තිබෙන පුද්ගලයෙකු යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී ජනාධිපතිවරයාට වසර හයක කාලයක් නිලයේ සිටිය හැකි බව ප්‍රකාශ කර ඇති බවත් එය අධිකරණයට කළ බලපෑමක් බවත් ජනාධිපති නීතිඥ වීරකෝන් පෙන්වා දුන්නේය.

පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “මෙම පෙත්සම්කරු 2019 වසරේ ද මේ ආකාරයෙන්ම පෙත්සමක් ඉදිරිපත් කළා. එම තීන්දුවේ පිටපත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව කිසිදු කරුණක් පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර නෑ. කරුණු වසංකර තිබෙනවා. එම නිසා මෙම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමීල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් “පෙත්සම්කරු සිය පෙත්සමේ තමන් ඡන්ද දායකයෙකු බව ප්‍රකාශ කර නෑ. 2019 වසරේ ජනතාව ඡන්දය ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව දැනගෙනයි. එසේ නම් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙත්සම්කරු කියන්නේ කෙසේද? පෙත්සම්කරු මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ කූට අරමූණකින් යුතුවයි.” එම නිසා දැඩි ගාස්තුවට යටත්ව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටියි

ඉන් අනතුරුව පෙත්සම්කාර සී.ඩී. ලෙනව පෞද්ගලිකව පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව මා සඳහන් කරනවා.” යනුවෙන් කියා සිටියේය.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රශ්නයක් යොමු කරමින් “ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

“ස්වාමීනි… ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 යි. එම නිසයි මෙම නීතිවිරෝධී ජනාධිපතිවරණයට එරෙහිව නඩු පැවරුවේ.” යනුවෙන් පෙත්සම්කරු පිළිතුරු ලබා දුන්නේය.

විනිසුරු විජිත් මලල්ගොඩ ප්‍රශ්නයක් මතු කරමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔබ එය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළා?

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු “නැහැ.. ස්වාමීනි..” යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී විනිසුරු මළල්ගොඩ පෙත්සම්කරු අමතමින් “ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් තිබුණා නම් ඔබ එය අභියෝග කළ යුතුව තිබුණේ එම අවස්ථාවේ දී. ඔබ එම අවස්ථාවේදී එය කළේ නැහැ. දැන් අධිකරණයට පැමිණ අධිකරණයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම තුළ පදනමක් නැහැ” යනුවෙන් කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කරු අමතමින් “ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය කියවා තිබෙනවාද? 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. ඉතින් ඔබ දැන් ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්නේ කොහොමද?” යනුවෙන් විමසීය.

විනිසුරු විජිත් මළල්ගොඩ යළිත් ප්‍රශ්නයක් මතු කරමින් “සම්මත වූ නීතියක් යළි ප්‍රශ්න කරන්න කියලද ඔබ අපට කියන්නේ” යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සිට 86 දක්වා තිබෙන වගන්ති වලින් අධිකරණය සම්මත කළ නීතියක් සම්බන්ධයෙන් පවා යළි සලකා බැලීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. මෙම ක්‍රියාවලිය අධිකරණය අතින් සිදුවූ වරදක්.” යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරුට තරයේ අවවාද කළ විනිසුරු විජිත් මළල්ගොඩ නීතියට අනුව කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය ලබා දුන් අවස්ථාව වැරදි ලෙස පරිහරණය නොකරන ලෙසත් දන්වා සිටියේය.

ඉන් අනතුරුව අගවිනිසුරුවරයා පෙත්සම්කරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒක අභියෝගයට ලක් කරමින් ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළාද? යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු තමා එම අවස්ථාවේදී අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් නොකළ බව ඔහු සඳහන් කළේය.

නැවතත් පෙත්සම්කරු ඇමතූ අගවිනිසුරුවරයා “ඔබ එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළේ නැහැ. එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා. ඒවා පිළිබඳ පූර්ණ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය තම නිගමනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිගමනවලට අනුවයි පාර්ලිමේන්තුව අදාළ පනත සම්මත කළේ. එය දැන් නීතියක් බවට සම්මත වී හමාරයි. සම්මත වූ නීතියකට එරෙහිව මෙයාකරයෙන් නඩු පැවරීමට හැකියාවක් නෑ. ඔබ 2019 වසරේදීත් මේ ආකාරයේ නඩුවක් ගොනු කර තිබුණා. එය අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඔබ එහි තීන්දුවේ පිටපත් ලබා ගත්තාද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

‘ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද?’

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කරු සඳහන් කළේ තමා එම තීන්දුවේ පිටපත් ලබා නොගත් බව ය.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙත දෝෂාරෝපණ එල්ල කළ අගවිනිසුරුවරයා

“ඔබ වගකිවයුතු පුරවැසියෙක් නම් ඔබේ නඩුවේ තීන්දුවේ පිටපත ලබාගෙන කියවිය යුතුව තිබුණා. එහෙත් ඔබ එසේ කර නැහැ. එසේ නොකොට මේ ආකාරයෙන් නඩු පැවරීම යුක්ති සහගත නෑ.” යනුවෙන් කියා සිටි අතර පදනමකින් තොරව අධිකරණයට පැමිණ අධිකරණයේ කාලය නාස්ති කිරීම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කරු ඇමතු අගවිනිසුරුවරයා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු පහක් බව දැන් පිළිගන්නවාද? යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පෙත්සම්කරු එය තමා පිළිගන්නා බව අධිකරණය හමුවේ පැවසීය.

ඉන් අනතුරුව අගවිනිසුරුවරයා කරුණු දක්වමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 05 ක් බව පැහැදිලියි. ඒක තමයි දැන් රටේ තිබෙන නීතිය. එසේ තිබියදී මේ වගේ නඩු පවරා ඇයි අධිකරණයේ කාලය කා දමන්නේ” යනුවෙන් පෙත්සම්කරුගෙන් විමසා සිටියේය.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු එස්. තුරෙයි රාජා පෙත්සම්කරු අමතමින් “2019 වසරේ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස මා කටයුතු කළා. එහිදී ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අපි පියවර ගත්තා. එසේ තිබියදී ඔබ එම කාරණයම යළි අධිකරණයට ගෙන ඇවිත් තිබෙනවා. එදා පැවති නඩු විභාගයේදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඔබට ප්‍රශංසා කළ බව ඔබ ඔබගේ දේශනවලදී සඳහන් කළා. ඒක වැරදියි. එදා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුතුමා ඔබට කියා සිටියේ නීතිය හරියාකාරව දැනගෙන කරුණු දක්වන්න කියලයි. එය ප්‍රශංසා කිරීමක් ලෙස තේරුම් ගන්න එපා.”යනුවෙන් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම පැය භාගයකින් පමණක් කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ පෙත්සම පවරා පවත්වාගෙන යාමට තරම් සාධාරණ පදනමක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බව ය.

මෙම පෙත්සම්කරු විසින් 2019 වසරේ මේ ආකාරයෙන් නඩුකරයක් ගොනු කිරීමට පියවර පියවර ගෙන තිබියදී ඒ බව සඳහන් නොකොට යළි ඒ හා සමාන නඩුකරයක් ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයේ කාලය නාස්ති කිරීමක් කරන බවත් ඒ අනුව පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුව මසක් තුළ අධිකරණයට ගෙවිය යුතු බවත් අග විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.

අතරමැදි පෙත්සම්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබුණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර ඇති බව ය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දෙති.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවටත් ඔවුහූ චෝදනා කරති.

එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නීතියක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත් අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ඡන්දය වැළක්වීමට අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. “යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ “2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි” යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය නිසි පරිදි සම්මත වී තිබේදැයි අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය – BBC සිංහල

 

  • Related Posts

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
    • July 13, 2024

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

    Continue reading
    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
    • July 12, 2024

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 13 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා