එල්පීඑල් වාර්තා පොත අලුත් කරමින් පැතුම් නිශ්ශංක රැස් කළ වේගවත් ශතකය යට කරමින් දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් රැස් කළ අර්ධ ශතක හේතුවෙන් ජැෆ්නා පිල පරදවා කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ 11 වැනි තරගය ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 7කට ලකුණු 224ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිමේදී එම වාර්තාව මකා දැමූ කැන්ඩි ක්‍රීඩකයෝ ඕවර 18.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබියදීය. කැන්ඩි පිල ලකුණු 230ක් රැස් කළේ එල්පීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. එමෙන්ම එල්පීඑල් තරගාවලියේ කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. කැන්ඩි පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 37කින් ලකුණු 89ක් රැස් කළේ අර්ධ ශතක සබඳතා 2ක් ද පිහිටුවමිනි. හතරේ පහර 8කින් සහ හයේ පහර 7කින් ඉනිම වර්ණවත් කරගත් චන්දිමාල් දෙවැනි කඩුල්ලට මොහොමඩ් හාරිස් සමඟ එක්ව පන්දු 32කින් ලකුණු 58ක් සහ තෙවැනි කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සමඟින් පන්දු 37කින් ලකුණු 73ක් එක් කළේය.
මුළු ලකුණු 164දී චන්දිමාල් දැවී යෑමෙන් පසු ජයග්‍රහණයේ බලාපොරොත්තු අත්නොහැරි කමිඳු සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 27කින් ලකුණු 66ක නොබිඳුණු සබඳතාවකින් කැන්ඩි පිලට දෙවැනි ජය අත්කර දුන්හ. කමිඳු පන්දු 36කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 65ක් සහ මැතිව්ස් පන්දු 13කින් නොදැවී ලකුණු 29ක් රැස් කළහ. පන්දු යැවීමේදී ටබ්රයිස් ශම්ෂි කඩුලු 2ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ඉනිමේදී පැතුම් නිශ්ශංක වාර්තා පොත අලුත් කළේ පන්දු 59කින් ලකුණු 119ක් රැස් කරමිනි. හතරේ පහර 16කින් සහ හයේ පහර 4ක් එල්ල කළ පැතුම් ඉන් ලකුණු 88ක් ලබා ගත්තේ එල්පීඑල් පිතිකරුවකු හතරේ සීමාවෙන් එපිටට පන්දුව යවමින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඔහු පන්දු 52කින් ශතකය වාර්තා කළ අතර, එය එල්පීඑල් තරග බිමේ දෙවැනි වේගවත්ම ශතකය විය. ලකුණු 119කින් නිමා වූ පැතුම්ගේ ඉනිම එල්පීඑල් තරග බිමේ පිතිකරුවකු රැස් කළ ඉහළම ඉනිම ලෙස ද වාර්තා පොතට එක් විය.
කුසල් මෙන්ඩිස් (26) සමඟ පළමු කඩුල්ලට ලකුණු 112ක් එක් කළ පැතුම් රිලී රොසොව් සමඟින් දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 50කි. රොසෝව් පන්දු 18කින් ලකුණු 41ක් රැස් කළේය. පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 3ක් බිඳ දැමූ අතර, රමේෂ් මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගත්හ.
ජැෆ්නා කිංග්ස් – 224/7 (ඕවර 20) පැතුම් නිශ්ශංක 119, රිලී රොසෝව් 41, කුසල් මෙන්ඩිස් 26 (දසුන් ශානක 40/3, රමේෂ් මෙන්ඩිස් 28/2, දුෂ්මන්ත චමීර 44/2)
කැන්ඩි ෆැල්කන්ස් – 230/3 (ඕවර 18.2) දිනේෂ් චන්දිමාල් 89, කමිඳු මෙන්ඩිස් නොදැවී 65, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 29, මොහොමඩ් හාරිස් 25 (ටබ්රයිස් ශම්සි 46/2)
The post එල්පීඑල් වාර්තා අලුත් කළ පැතුම්ගේ ඉනිම චන්දිමාල් සහ කමිඳුගෙන් වැසී යයි appeared first on දිනමිණ.