එල්පීඑල් තරගාවලියේදී ලැබෙන මුදලට වඩා නැඟී එන යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් බව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. මෙතෙක් පැවති තරගවලදී යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පැහැබර බවට සහතික විය හැකි යැයි තරගාවලි අධ්යක්ෂවරයා පැවසීය.
දඹුල්ල සික්සර්ස් පිලට ක්‍රීඩා කරන 21 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ වැනි ක්‍රීඩකයන් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වන අතර, නුවනිඳු ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් ලකුණු අතරට පැමිණෙමින් සිටී. එමෙන්ම ගාල්ල මාර්වලස් පිලේ කවිඳු නදීශාන් ද කැපී පෙනෙන දස්කම් දක්වමින් යොවුන් ක්‍රීඩකයන් අතර කැපී පෙනෙන තත්ත්වයක සිටී. දඹුල්ල සික්සර්ස් පිලේ දුෂාන් හේමන්ත පිතිකරුවන්ට තර්ජනාත්මකව පන්දු යැවීමද කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක ශතකයක් හා අර්ධ ශතක 2ක් ලබා පිතිකරණ අංශයෙන් ඉදිරියෙන්ම සිටින අතර, එල්පීඑල් තරගාවලිය
හරහා අවිශ්ක ප්‍රනාන්දු ද යළි සුපුරුදු රිද්මයට පැමිණ අර්ධ ශතක තුනක් ලබා සිටී. ලකුණු අතරට නොපැමිණීමේ හේතු මත ශ්‍රී ලංකා පිලෙන් ඉවතට ගොස් සිටි කුසල් ජනිත් පෙරේරා සුපුරුදු ප්‍රහාරාත්මක රටාවෙන් පිටිය වර්ණවත් කරන අතර, වසර 2ක් තිස්සේ ශ්‍රී ලංකා පිලේ විස්සයි20 තරග අහිමි වී ඇති පළපුරුදු පිතිකරු දිනේෂ් චන්දිමාල් ආකර්ෂණීය තත්ත්වයකින් මෙවර එල්පීඑල් පිටියේ ක්‍රීඩා කරමින් සිටියි.
“අපේ ඉලක්කය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමයි. විශේෂයෙන්ම නැඟී එන යොවුන් ක්‍රීඩකයන්ට හොඳ තැනක් ලබා දීමට අපි වෙහෙසෙනවා. ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා ලෝකයේ හොඳ මට්ටමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම එල්පීඑල් තරගාවලියට ගෙනාවා. ඒ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමඟ යොවුන් ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී ඔවුන්ට විශේෂ අත්දැකීමක් ලැබෙනවා. වෙනත් වසරවලට වඩා එල්පීඑල් මෙවර නව මුහුණුවරක් ගෙන තිබීම සතුටට කරුණක්” දොඩන්වෙල මහතා පැවසීය.
“මහනුවර හා දඹුල්ලේ තරග නැරඹීමට විශාල පිරිසක් පැමිණියා. මේ 13 වැනිදා සිට පැවැත්වෙන කොළඹ තරග නැරඹීමට තව තවත් නරඹන්නන් පැමිණෙයි. විනයවත් හා වේගවත් ක්‍රීඩාවකට ප්‍රේක්ෂකයන් කැමතියි. විනය කැඩුවොත් තරාතිරම ගැන හිතන්නේ නැතිව දඬුවම් කරනවා” ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්යක්ෂවරයා පැවසීය.
The post එල්පීඑල්වලින් ලැබෙන මුදලට වඩා යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැදගත් appeared first on දිනමිණ.