ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර් පත් වෙයි.
ඉන්දියාව විස්සයි20 ලෝක ශූරතාව කරා ගෙන යෑමේ විශාල කාර්යයක් කළ හිටපු පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය නිමාවීම හේතුවෙන් එම තනතුරට ගම්භීර් පත් විය. මේ වසරේ පැවති අයිපීඑල් තරගාවලියේ ශූරතාව දිනාගත් කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන ගම්භීර් 2027 වසරේ දෙසැම්බර් මාසය දක්වා ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
42 හැවිරිදි ගම්භීර් මේ මස පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර හිටපු පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් යටතේ ඉන්දීය පිල අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ සහ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහා තරගවලට සුදුසුකම් ලබාගත් අතර, මේ වසරේ විස්සයි20 ලෝක ශූරතාව දිනා ගත්තේය.
විස්සයි20 ලෝක ශූරයන් වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය සිය කණ්ඩායමට ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කළ අතර, ඒ අනුව ක්‍රීඩකයන්ට සහ හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට ඉන්දීය රුපියල් කෝටි 5ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18ක්) ලබාදීමටත් සෙසු පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයන්ට ඉන්දිය රුපියල් කෝටි 2.5ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9ක්) ලබාදීමටත් කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් ඩ්‍රාවිඩ් සෙසු පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයන්ට ලබාදෙන කෝටි 2.5ට සමාන මුදල පමණක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, අමතරව බෝනස් මුදලක් ලෙස ලැබෙන කෝටි 2.5ක ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඩ්‍රාවිඩ්ගේ මේ ක්‍රියාව විශාල පිරිසකගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, ඔහු නියම මහත්මයෙකු ලෙස හැඳින්වීමට ද ඉන්දීය මාධ්‍ය කටයුතු කර තිබිණි.
The post ගම්භීර් තනතුරට එද්දී ඉන්දීය හිටපු පුහුණුකරු කෝටි 9ක බෝනස් එපා කියයි appeared first on දිනමිණ.