සෑම ක්‍රීඩක ක්රීඩිකාවකගේම ලොකුම අපේක්ෂාවවී ඇත්තේ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීම බවත්, ඒ සිහිනය සැබෑ කර ගැනීමට තමන් වසර 20ක් තිස්සේ ‘කට්ට’ කෑ බවත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ පැවසුවාය. මේ නිසාම ඔලිම්පික් යන වයසින් වැඩිම ක්‍රීඩිකාව ලෙස තමන් ඉතිහාසයට එක්ව ඇති බව 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ සඳහන් කළාය.
පරකඬුව නම්වූ දුෂ්කර ගම්මානයෙන් ක්‍රීඩා ක්ෂේත්රයට පැමිණි තම ක්‍රීඩා ජීවිතය අභියෝගවලින් පිරී ගිය එකක් බව දිල්හානි ලේකම්ගේ මෙහිදී සිහිපත් කළාය. මුල් පුහුණුකරු අරුණ ශාන්ත හා වත්මන් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන මහත්වරුන්ට ස්තූතිය පුද කිරීමට ඇය අමතක නොකළාය.
පැරිස් ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස MAS Holdings ආයතනය අත්වැල් බැඳගැනීම වෙනුවෙන් කොළඹ තරු පහේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී දිල්හානි ලේකම්ගේ එලෙස පැවසුවාය.
ක්‍රීඩා නිල ඇඳුම් ප්‍රදානයෙන් අනතුරුව MAS ආයතනය විසින් නව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් මාලාව ආරම්භ කළේය. ඔලිම්පික් උලෙළ සඳහා සැකසූ නිල ඇඳුම ශ්‍රී ලාංකේය අතීත ආත්මාරක්ෂක සටන් කලාවක් වන අංගම්පොර සහ ඇම්බැක්කේ කැටයම් කලාවේ ආභාෂයෙන් නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.
වසර 8ක කාලයක් සඳහා සැලසුම් සකස් කරමින් රුපියල් කෝටි 65ක වියදමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදු කෙරිණි. පාසල් මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අධ්‍යාපනික, පෝෂණය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ද ලබා දෙමින් ඔවුන් ඉහළ තලයකට රැගෙන යෑම මේ ඇකඩමිය මඟින් සිදු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක් වෙමින් මේ පුහුණු ඇකඩමිය ක්‍රියාත්මක වේ.
ප්‍රින්ස් ගුණසේකර
The post ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීමට වසර 20ක් තිස්සේ ‘කට්ට’ කෑවා පැරිස් යන වයසින් වැඩිම ක්‍රීඩිකාව මමයි – දිල්හානි ලේකම්ගේ appeared first on දිනමිණ.