මෙවර එල්පීඑල් තරගාවලියේ පළමු වරට ක්‍රියාත්මකවූ සුපිරි ඕවර සටනින් ජය ගැනීමට ගෝල් මාවල්ස් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවැති තරගාවලියේ 16 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් පිල කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය දඹුල්ල සික්සර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි.
ඒ අනුව සුපිරි ඕවරය ක්‍රියාත්මක කළ අතර, එහි පළමුව පන්දුවට පහරදුන් දඹුලු පිලට කඩුලු 2ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 6ක් පමණි. මහීෂ් තීක්ෂණ යැවූ එම ඕවරයට වයිඩ් පන්දු 3ක් ද ඇතුළත් විය.
එම ඉලක්කය හඹා යෑම සඳහා නුවන් තුෂාරගේ ඕවරයට මුහුණ දීමට සහන් ආරච්චිගේ සමඟින් පිටියට පිවිසි ඇලෙක්ස් හේල්ස් පන්දු 3කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරකින් ගෝල් ජය තහවුරු කළේය.
මේ සමඟ තරග 7කින් 5ක් ජයගත් ගෝල් පිල අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත් වූ දෙවැනි කණ්ඩායම බවට පත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් පිල වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් පන්දු 26කින් ලකුණු 38ක් රැස් කළ අතර, ටිම් සෙයිෆර්ට් ලකුණු 23ක් ඉනිමට එක් කළේය. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී මොහොමඩ් නබි, දුෂාන් හේමන්ත සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 149ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දඹුලු පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය ද ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 57කින් ලකුණු 72ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟිනි. ඊබ්‍රහිම් සද්රාන් පන්දු 18කින් ලකුණු 30ක් සහ නායක මොහොමඩ් නබි පන්දු 17කින් ලකුණු 25ක් රැස් කරමින් ඉනිම ලකුණු 148 දක්වා රැගෙන ගියහ. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.
ගෝල් මාවල්ස් – 148/9 (ඕවර 20) ඇලෙක්ස් හේල්ස් 38, ටිම් සෙයිෆර්ට් 23 (මොහොමඩ් නබි 14/2, දුෂාන් හේමන්ත 19/2, නුවන් ප්‍රදීප් 42/2)
දඹුල්ල සික්සර්ස් – 148/7 (ඕවර 20) රීසා හෙන්ඩ්‍රික්ස් 72, ඊබ්‍රහිම් සද්රාන් 30, මොහොමඩ් නබි 25 (මහීෂ් තීක්ෂණ 26/3)
සුපිරි ඕවරය
දඹුල්ල සික්සර්ස් – කඩුලු 2ක් දැවී ලකුණු 6යි. (පන්දු 5යි) මොහොමඩ් නබි 2, රීසා හෙන්ඩ්‍රික්ස් 0, චමිඳු වික්‍රමසිංහ නොදැවී 1 (මහීෂ් තීක්ෂණ 6/2)
ගෝල් මාවල්ස් – කිසිවකු නොදැවී 12යි (පන්දු 4යි) ඇලෙක්ස් හේල්ස් නොදැවී 11, සහන් ආරච්චිගේ නොදැවී 1 (නුවන් තුෂාර 12/0)
The post සුපිරි ඕවර සටනින් ගාල්ල ජය ගනී appeared first on දිනමිණ.