ශදාබ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීමත් රහ්මනුල්ලාහ් ගුර්බාස් රැස් කළ වේගවත් අර්ධ ශතකයත් හේතුවෙන් ජැෆ්නා කිංග්ස් පිල පරදවා කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ. මේ හේතුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.
එල්පීඑල් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල ලකුණු 109කින් නතර කළ කලම්බු ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඕවර 9.5ක් පමණක් වැය කරමිනි. පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 33කදී නොදැවී ලකුණු 57ක් රැස් කළේ හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමිනි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 8කට දැවී යෑමෙන් පසු ගුර්බාස්ට එක්වූ මුහම්මද් වසීම් පන්දු 45කින් ලකුණු 87ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමින් කලම්බු ජය තහවුරු කළේය. පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට කලම්බු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, ලකුණු 29ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් ද සමඟ මුල් කඩුලු 3 බිඳ වැටිණි. මුළු ලකුණු 44දී ක්‍රියාත්මක වූ ශදාබ් ඛාන් ලකුණු 10ක් පමණක් ලබා දෙමින් නායක චරිත් අසලංක ඇතුළු ප්‍රබලම පිතිකරුවන් සිව්දෙනකු යළි ක්‍රිඩාගාරයට හරවා යැවීමෙන් ජැෆ්නා පිල අසීරු අඩියකට වැටුණු අතර, ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 54කට කඩුලු 7ක් ලෙසිනි.
අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී ලකුණු 25ක් රැස් කරමින් ඉනිම ලකුණු 100 සීමාවෙන් එපිටට රැගෙන ගියේය. ඔහු 9 වැනි කඩුල්ලට ඒෂාන් මාලිංග සමඟ එක්ව ගොඩනැඟූ ලකුණු 34 ඉනිමේ ඉහළම සබඳතාව විය. පන්දු යැවීමේදී ශදාබ් ඛාන් කඩුලු 4ක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්හ. ශදාබ් ඕවර 4දී ලකුණු 10ක් පමණක් දෙමින් කඩුලු 4 දවාගත් අතර, එය මෙවර තරගාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවීම ද විය.
ජැෆ්නා කිංග්ස් – 109/9 (ඕවර 20) විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 25 (ශදාබ් ඛාන් 10/4, බිනුර ප්‍රනාන්දු 24/2)
කලම්බු ස්ට්‍රයිකර්ස් – 112/1 (ඕවර 9.5) රහ්මනුල්ලාහ් ගුර්බාස් නොදැවී 57, මුහම්මද් වසීම් නොදැවී 35
The post ශදාබ් – ගුර්බාස් කොළඹ ඉදිරියට ගනිති appeared first on දිනමිණ.