කොළඹ පාපන්දු ලීගයේ සහ සිටි පාපන්දු ලීගයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන කොළඹ – සිටි අභියෝගතා පාපන්දු ශූරතාවලිය මේ මස 20 දා සිට අගොස්තු 10 දක්වා කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වේ. සෑම සති අන්තයකම පැවැත්වෙන මේ තරගාවලියට කොළඹ පාපන්දු ලීගයේ ප්‍රමුඛතම කණ්ඩායම් වන චැලෙන්ජර්ස්, රත්නම්, නිව් ස්ටාර් හා ඕල්ඩ් බෙන්ස් යන කණ්ඩායම් එක්ව සිටින අතර සිටි ලීගයේ සෝන්ඩර්ස්, ජාවා ලේන්, රිනවුන් හා මාලිගාවත්ත යූත් යන කණ්ඩායම් සහභාගි වේ.
මේ 20 දා පස්වරු 2.30ට චැලෙන්ජර්ස් – රත්නම් තරගය පැවැත්වෙන අතර එදින පස්වරු 4.30ට මාලිගාවත්ත යූත් හා රිනවුන් පිටියට පිවිසෙති. 21 වැනිදා පස්වරු 2. 30ට ජාවා ලේන් හා සෝන්ඩර්ස් අතර තරගයත්, එදිනම පස්වරු 4.30ට නිව් ස්ටාර් – ඕල්ඩ් බෙන්ස් අතර තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ කණ්ඩායම් 8ට ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් 17ක් බෙදී ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා අනුමැතිය ලබාදී ඇති අතර, මේ හේතුවෙන් තරගාවලිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
තරගාවලියේ ශූරයන්ට රුපියල් මිලියනයක් සහ අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක එක්ස්පෝ ප්‍රොපටි ඩිවලොපස් පුද්ගලික සමාගම කටයුතු යොදා ඇත. එමෙන්ම තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට රුපියල් ලක්ෂ 2.5 බැගින් පිරිනැමෙන අතර, සියලු ක්‍රීඩකයන්ට ජර්සි කට්ටල හා පාපන්දු තුනක් පිරිනැමීමට කටයුතු කොට ඇතැයි තරග සංවිධායක කමිටු සභාපති මනිවන්නන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා මේ අවස්ථාවට එක්වූ අතර, රටපුරා පාපන්දු ලීග සක්‍රිය කරමින් දේශීය පාපන්දු තරග නැවත ආරම්භ කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව නිවැරැදි මාවතකට ගමන් කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඉදිරියේදී දේශීය පාපන්දු තරගාවලි ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.
“සියලු දෙනා දන්නවා අපේ පාපන්දුව තහනමට ලක් වුණා කියලා. එදා සිට අපට ලැබිය යුතු මුදල් ලැබුණේ නෑ. නමුත් අපේ නව නිලධාරී කණ්ඩායමේ දක්ෂතාව නිසා පාපන්දු වියදම් නිසි ලෙස විගණනය කොට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලබාදී තිබෙනවා. ඉදිරියේදී සියලු මුදල් ලැබෙනවා. එතැන් සිට අඛණ්ඩව පාපන්දු තරගාවලි පැවැත්වෙන බවට මා සහතිකයක් දෙනවා. දේශීය තරග ප්‍රමාදයන් පිළිබඳ බොරු කතා ගොඩනඟා මඩ ගැසීමට කිසියම් පිරිසක් උත්සාහ කරනවා. නමුත් අපි ඉන්නේ රටේ පාපන්දු ගොඩනැඟීමටයි. ඔය බොරු කතා කියන අය ඉතිහාසයේ පාපන්දුවට සේවය කරලා තිබුණා නම් අද පාපන්දුව කොතරම් දියුණු තත්ත්වයක තියෙනවාද” ජස්වර් උමර් මහතා පැවසීය.
මේ වසරේ සැප්තැම්බර් තෙවැනි සතියේ සිට ප්‍රමුඛතම දේශීය පාපන්දු තරගාවලි ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේය. කොළඹ පාපන්දු ලීගයේ ලේකම් සහරාන් සිංහවංශ මහතා හා සිටි පාපන්දු ලීගයේ සභාපති එම්. සබීර් මහතා ඇතුළු පිරිසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
The post පාපන්දු ශූරතාවලිය 20 දා සිට appeared first on දිනමිණ.