ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරග බිමේදී ඉන්දියාව හමුවේ පස්වරක් අනුශූරියන් වී සිටි ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව අත්කර දීමට චමරි අතපත්තු ප්‍රම්‍රඛ ක්‍රීඩිකාවෝ ඊයේ පස්වරුවේ සමත් වූහ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් තරගයේදී පසුගිය වර ශූරතාවද සමඟ 7 වරක් ශූරියන් වී සිටි ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. ඉන්දියාව ආසියානු අනුශූරියන් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, 2018දී බංග්ලාදේශය හමුවේ පළමු වරට අනුශූරියන් බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ 2004, 2005, 2006, 2008 සහ 2022 වසරවල අනුශූරියන් වී තිබේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 8ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඕවරයේදී පළමු කඩුල්ල අහිමි වූයේ එක් ලකුණක් ලබා සිටි විශ්මි ගුණරත්න දුවද්දි දැවී යෑමෙනි. කෙසේ වෙතත් නායිකා චමරි අතපත්තුගේ සාර්ථක ආරම්භයට අගනා සහායක් දෙමින් හර්ෂිතා මාධවී සමරවික්‍රම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
නායිකා චමරි සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 63කින් ලකුණු 87ක් එක් කළ හර්ෂිතා තෙවැනි කඩුල්ලට කවිෂා දිල්හාරි සමඟ එක්ව නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 40කින් ලකුණු 73ක් ලෙසිනි. මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ චමරි ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 43කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 61ක් රැස් කර තිබියදීය.
හර්ෂිතා හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 51කින් නොදැවී ලකුණු 69ක් රැස් කළ අතර, පන්දු 16ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 30ක් රැස් කළ දිල්හාරිගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ස්මිත්‍රි මන්දනා හතරේ පහර 10ක් සමඟින් පන්දු 47කින් ලකුණු 60ක් රැස් කළාය. පළමු කඩුල්ලට ෂෆාලි වර්මා (16) සමඟින් ලකුණු 44ක් එක් කළ මන්දනා සිව්වැනි කඩුල්ලට ජෙමිමා රොඩ්රිගස් සමඟ එක්ව පන්දු 26කින් ලකුණු 41ක් රැස් කළාය. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂෆාලි දවාගත් කවිෂා දිල්හාරි මන්දනාගේ ඉනිම ද නිමා කිරීමට සමත් වූවාය.
ජෙමිමා පන්දු 16කින් ලකුණු 29ක් රැස් කළ අතර, ඇය දැවී යෑමෙන් පසු පිටියට පිවිසි රිචා ගෝෂ් වේගවත් ලකුණු 30ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු 165 සීමාවට රැගෙන ගියාය. පන්දු 14කට පමණක් මුහුණදුන් ඇය හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ අතර, පූජා වස්ත්‍රකාර් (5) සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 17කින් ලකුණු 31ක් එක් කළාය. පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි දවාගත් කඩුලු 2කට අමතරව සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්හ.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කෙරිණි.
ඉන්දීය පිල වෙනසනික් තොරව මේ තරගයට එක් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනසක් කරමින් අවසන් පූර්ව තරගයට එක්වූ අචිනි කුලසූරිය වෙනුවට සචිනි නිසංසලා මේ තරගයට කැඳවීමට කටයුතු කර තිබිණි.
ඔබේ අපරාජිත දක්ෂතාව අපේ ජාතිය අභිමානයට පත් කළා -ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්
ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැමීය. “ඔබේ අපරාජිත ගමන්මඟ, ඔබගේ දක්ෂතාව, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියකි. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා!” යැයි ජනපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් දක්වා ඇත.
ඉන්දීය කාන්තා පිල
ෂෆාලි වර්මා ක.මු.ක ප.දිල්හාරි 16
ස්මිත්‍රි මන්දනා ඇ.චමරි ප.දිල්හාරි 60
උමා චෙත්රි ක.මු.ක. ප.චමරි 9
හර්මන්ප්‍රීත් කෞර් ඇ.නිලක්ෂි ප.සචිනි 11
ජෙමිමා රොඩ්රිගස් දුවද්දි දැවී ගියා 29
රිචා ගෝෂ් ඇ.සංජීවනි ප.ප්‍රබෝධනී 30
පූජා වස්ත්‍රකාර් නොදැවී 5
රාධා යාදව් නොදැවී 1
අතිරේක 4
එකතුව කඩුලු 6ක් දැවී (ඕවර 20) 165
කඩුලු බිඳ වැටීම: 1-44, 2-58, 3-87, 4-128, 5-133, 6-164
පන්දු යැවීම: ඉනෝෂි 4-0-31-0, ප්‍රබෝධනී 3-0-27-1,
කුමාරි 4-0-23-0, දිල්හාරි 4-0-36-2, සචිනි 2-0-20-1,
චමරි 3-0-28-1.
ශ්‍රී ලංකා කාන්තා පිල
විශ්මි ගුණරත්න දුවද්දි දැවී ගියා 1
චමරි අතපත්තු ප.ශර්මා 61
හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69
කවිෂා දිල්හාරි නොදැවී 30
අතිරේක 6
එකතුව කඩුලු 2ක් දැවී (ඕවර 18.4) 167
කඩුලු බිඳ වැටීම: 1-7, 2-94
පන්දු යැවීම: රේණුකා 3-0-23-0, පූජා 3.4-0-29-0,
ශර්මා 4-0-30-1, කන්වර් 4-0-34-0, රාධා 4-0-47-0.
නිරෝෂාන් ප්‍රියංකර
The post ඉන්දියාව හමුවේ 5 වරක් අනුශූරියන් වූ ශ්‍රී ලංකාවට – චමරි ප්රමුඛ ක්‍රීඩිකාවෝ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානය දිනා දෙති appeared first on දිනමිණ.