ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබේ.
අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දුන්නා.
එම මාධ්‍ය හමුවට ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, තරිඳු උඩුවරගෙදර, නූර් මොරීන්, ධර්මසිරි ලංකාපේලි, මොහොමඩ් ඉෂ්රි, දයාපාල තිරාණගම, අජන්ත අලහකෝන්, පී. ඩී. සරණපාල, සිතාරා කුලරත්න, දුමින්ද නාගමුව, රාජ්කුමාර් රජීව්කාන්ත්, ජයන්ත අමරසිංහ, පුබුදු ජයගොඩ, ජූඩ් නාමල් ප්‍රනාන්දු, වී. මහේන්ද්‍රන්, විජේපාල වීරකෝන් ඇතුළු ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවෝ ගණනාවක් සහභාගී වූහ.
ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත්කරන ලද්දේ ලහිරු වීරසේකර විසිනි.
දෙමළ භාෂාවෙන් රාජ්කුමාර් රජීව්කාන්ත් සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිතාරා කුලරත්න එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.
නුවන් බෝපගේ කොළඹ, කොලොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනයද කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු ලෙස වෘත්තියේ නිරතවේ.
ඔහු උපන් ප්‍රදේශයේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් නුවන් බෝපගේ තවත් මහජන අරගල ගණනාවක පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළේය.
නීතීඥයකු ලෙස ඔහු විදුලි බලාගාරයක් නිසා සිදුවූ පරිසර දූෂණයෙන් පීඩාවට පත් චුන්නාකම් ජනතාව වෙනුවෙන් පෙනීසිට ඓතිහාසික නෛතික ජයග්‍රහණයක් ලබා ගත්තේය.
විශේෂයෙන් මානව හිමිකම්, පරිසරයේ ආරක්ෂාව, පනත් කෙටුම්පත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදී ක්ෂේත්‍ර වල ජනතාව වෙනුවෙන් විශාල නෛතික ජයග්‍රහණ අත්පත්කර දුන්නේය.
ජන අරගලවල ඔහුගේ තීරණාත්මක භූමිකාව නියෝජනය වූයේ 2022 අරගලයේදීය.
එහිදී ගාලුමුවදොර පිටියේ ගෝඨා ගෝ ගම තුළ අරගල ක්‍රියාකාරිකයෙකු ලෙසද, අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනය තුළදී නීතීඥයකු ලෙසද ඔහුගේ ක්‍රියාකාරීත්වය සුවිශේෂී විය.
වර්තමානයේ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ විධායක සභිකයකු ලෙස කටයුතු කරයි.
The post ජන අරගල සන්ධානය ජනාධිපති අපේක්ෂකයා නම් කරයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.