අද මම ඔබව රැගෙන යන්නේ මීට වසර කිහිපයකට පෙර සංචාරයෙහි යෙදුණු පෙදෙසකටයි. ඒ තමයි පානම. ඇත්තටම අපි පානම කියලා මේ පෙදෙස හැඳින් වුවත් එහි නිවැරැදි නම පානව විය යුතුයි. පානම කියන්නෙ විවිධ සංස්කෘතීන් කිහිපයක් මුසු වී නිමැවුණු සුන්දර පෙදෙසක්. ඒ වගේම පානම් පත්තුව කියන්නේ සිංහල, දමිළ, මුස්ලිම් කියන ජන කොටස් තුනම දිවි ගෙවන පළාතක්. මෙහි වෙසෙන වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය ගොවිතැන් කිරීම නිසා එහි රජරට හා බැ¾දුණු වැව් සංස්කෘතියෙහි උරුමය අපිට මනාව දැක ගන්න පුළුවන්. ඒ වගේම මුහුදට සමීපව මෙම පෙදෙස පිහිටා තිබීම නිසා පානම තුළ අපිට මුහුදු බඩ සංස්කෘතියෙහි ලක්ෂණත් යහමින් දැක ගන්න පුළුවන්.
කොළඹ සිට නැඟෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් හරහා පානමට කිලෝමීටර 339ක දුරක් තිබෙනවා. පානම කියන්නේ නැඟෙනහිර අන්තයේ තිබෙන අවසන් ගම්මානයයි. පානමෙන් තමයි යාල වනය හා බැ¾දුණු වනාන්තරය ඇරඹෙන්නේ. පුරාණ රජ දවස බොහෝ සේ බෞද්ධයන් විසූ බවට සාධක රාශියක් පානමෙන් අපිට හමුවෙනවා. ඒ බව හෙළිදරවු කරන නටබුන් මෙන්ම වෙහෙර විහාර රැසක්ද මෙම පෙදෙසෙහි අපිට දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පානම අවට තිබෙන වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට පාත්‍ර වී තිබෙනවා.
ඔන්න දැන් අපි එහෙනම් පානම ඉතිහාසයට ගමන් කරමු. අපි කවුරුත් දන්නවා 1818දී ඉංග්‍රීසීන්ට එරෙහිව උෟව වෙල්ලස්ස කැරැල්ල පැවතුණා. මේ සටනට ආ උෟවේ සිංහල කැරැලිකරුවන් කුඹුක්කන් ඔය ඔස්සේ පැමිණ මහ වන මැද පිහිටි පානම හා කුමන ගම්මානවල මුලින්ම පදිංචි වී ඇති බව තමයි පත පොතෙහි සඳහන් වෙන්නේ. මෙම පිරිස් මෙහි පදිංචි වීමට පෙර මේ පෙදෙසෙහි දඩයමෙන් දිවි ගෙවූ ආදිවාසී පිරිස් දිවි ගෙවා ඇති අතර ජනප්රවාදයට අනුව ආදි මානව කොටසක් ලෙස සැලෙකන නිට්ටෑවන් හා කන්පොත්තන් නමැති මානව පිරිස්ද පානම අවට වනාන්තරවල වාසය කරලා තිබෙනවා.
අද වන විට පානම ගම්මානය ග්‍රාම නිලධාරි වසම් 05කින් සමන්විත වෙනවා. මෙම ගම්මානයේ පවුල් 3500ක් පමණ ජීවත් වෙනවා. එක් පැත්තකින් කළපුවෙන්ද, තවත් පැත්තකින් මුහුදින්ද, තවත් පැත්තකින් යාල කුමන වනෝද්‍යානයට අයත් මහා ගන වනාන්තරයෙන්ද පානම වටවී තිබෙනවා. මේ අනුව බලන විට මෙම ගම්මානය ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් විතරයි. ඇත්තටම පානම කියන්නේ වෙනම පාරිසරික අත්දැකීමක් ඔබට ලබා දෙන පෙදෙසක් කිව්වොත් මම නිවැරදියි.
ඔබ පානම යනවා නම් මෙන්න මේ තැන්වලටත් යන්න අමතක කරන්න එපා. මුලින්ම අපි කතා කරමු පානම කළපුව ගැන. පානම ගම මැදින් තරමක් ඉදිරියට ගමන් කරන විට අපිට පානම කළපුව දැක ගන්න පුළුවන්. රෝස පැහැ වැලි ක¾දුවලින් සහ මිසරීය අලංකාරත්වයෙන් යුතු වැලි තලාවෙන් සුසැදි පානම කළපුව කියන්නේ ලංකාවේ කළපුවලින් ලස්සනම කළපුවක්. මේ කළපුව හෙක්ටයාර 250ක් විසල් බවින් යුතු අතර කඩොලාන ශාකත් මෙහි දැක ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු වෙහෙරකම වෙහෙර ගැන. ඔබ පානම යන කෙනෙක් නම් මේ විහාරයත් වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. පානම සිට කිලෝ මීටර අටහමාරක් දුරින් තමයි මේ ඉපැරැණි වෙහෙර පිහිටලා තිබෙන්නේ. මෙම වෙහෙරෙහි ඉපැරැණි ගොඩනැඟිලි, සෙල්ලිපි, පොකුණු ආදී ඓතිහාසික වටිනා කමින් යුතු දෑ දැක ගන්න පුළුවන්. බෞද්ධයන් විතරක් නෙවෙයි. මේ අවට දිවි ගෙවන හින්දු භක්තිකයන් පවා වෙහෙරකම වැඳපුදා ගැනීමට පැමිණෙනවා.
පානම යන කෙනෙක් නම් යායුතු අනෙක් තැන තමයි සීක්රට් පොයින්ට් කියන්නේ. පානම පෙදෙසෙ පිහිටි ගල් පර්වත හා වනාන්තර සහිත රජයේ වන බිමක් තමයි සීක්රට් පොයින්ට් කියන්නේ. ඉතින් මේ තැන බලන්නත් පානම යන ඔබ අමතක කරන්න එපා. සීක්රට් පොයින්ට් වගේම පානම වෙරළ තීරයේ සුන්දරත්වය රසවිඳින්නත් ඔබ අමතක කරන්න එපා. පොතුවිල් ඉඳන් ඇවිල්ලා පානම කඩමණ්ඩිය පසු කර මීටර් පන්සියයක් ගිය විට ඔබට පානම මුහුදු වෙරළට ළඟා වෙන්න පුළුවන්. ඔන්න ඔබ රළ මත ලිස්සා යෑමේ ලෝලියෙක් නම් මෙහි යන ඔබට රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවෙහි යෙදෙන්නත් පුළුවන්. ජීවිතයේ විවිධ පරිසර සෞන්දර්යයන්ගෙන් යුතු පෙදෙසකට ඔබට ගමන් කරන්න ඕනෑ නම් ඔබ යා යුතුම තැන තමයි පානම කියන්නේ.
ගිහාන් සචින්ත
The post පානම ගියොත් මේ දේවල් බලන්න අමතක කරන්න එපා appeared first on මව්බිම.