දියඇල්ලක් කියන්නේම පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නට ස්වභාව දහමෙන් ලැබුණු හරි අපූරු දායාදයක්. ඉතින් මේ දියඇලිවල සුන්දරත්වය විඳින්නට සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වනවා. ඇතැම් දියඇලිවල තිබෙන සුන්දරත්වයට සංචාරක ආකර්ෂණය ලැබුණත් තවමත් බොහෝ දෙනාගෙන් සැඟවී පවතින දියඇලි බොහොමයක් තිබෙනවා. අප අද කතා කරන්නට සූදානම් වන්නේ ඔබ නිතර යන එන මඟක පිහිටා තිබෙන නමුත් බොහෝ දෙනාගේ අවධානය නොලැබුණු හරි අපූරු දියඇල්ලක් පිළිබඳවයි.
මේ අපූරු දියඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට, අඩවිකන්ද නැතහොත් එරත්න හරහා ශ්රී පාදස්ථානය කරුණා කරන මාර්ගයේයි. මේ මාර්ගයෙන් ශ්රී පාදය කරුණා කරන ඔබට ජම්බෝලගහ යට අම්බලම පසුකර යන විට වර්ණගල අම්බලම හමුවනවා. වර්ණගල අම්බලම පිටුපසින් වැටී ඇති අඩි පාර දිගේ තරමක් දුර ගිය පසු වර්ණගල ඇල්ල සමීපයටම ළඟා වන්නට පුළුවන්.
වර්ණගල ඇල්ලට මේ නම ලැබී තිබෙන්නේ මේ ඇල්ල තිබෙන ප්රදේශයේ වර්ණවත් ගල් පිහිටා තිබෙන නිසයි. වර්ණගල ඇල්ලේ උස 40m පමණ වනවා. දිය ඇල්ල කඩාහැලෙන ස්ථානයේ තටාකය තරමක් විශාල මෙන්ම දැඩි ගැඹුරු ස්වභාවයක් ගන්නවා. සිරිපා කරුණා කරන මේ කාලයේ ඔබත් වර්ණගල ඇල්ල නරඹන්නට යනවා නම් එහි නාන්න හිතන්නවත් එපා. මොකද දිය ඇල්ලේ ජලය අඩු යැයි ඔබට හැඟුණත් මොහොතින් මොහොත මේ දිය පහරේ ස්වභාවය වෙනස් වනවා. ඔබ මේ ප්රදේශ ගැන නොදැනුවත් වගේම අනතුරක් වූ විට ඔබේ සහායට එන්න මේ ප්රදේශයේ වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැහැ. ඒ නිසාම වර්ණගල ඇල්ලේ නාන්න පෙර ඔබේ ආරක්ෂාව පිළිබඳව දෙවරක් සිතන්න.
සිරිපා කරුණා කරන මේ කාලයේ බොහෝ සංචාරකයන්ට මඟහැරෙන සුන්දර දසුනක් තමයි මේ වර්ණගල ඇල්ල. ඉර පායාගෙන එන මොහොතේ ඇල්ලේ පාෂාණවලට වැටෙන ආලෝකයෙන් දිලිසෙන මේ දියඇල්ලේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වනවා. ඉනිත් ඔබත් කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න බලාපොරොත්තු වනවා නම් මේ වර්ණගල ඇල්ලේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා. ඒ වගේම සිරිපා අඩවියේ පරිසර දූෂණය වැඩි මේ කාලයේ ඔබ රැගෙන යන කැළිකසළ නැවත ගෙන එන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ගමනේදී ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පළමු තැන දෙන්න. එවිට ඔබට සුන්දර ගමනක මතක සටහන් ගොන්නක් සංචාරක මතක පොතට එක් කරගන්න හැකි වේවි.
නිශානි සවින්දිකා රාජපක්ෂ
The post සමන් දේව අඩවිය තවත් ලස්සන කරන වර්ණගල ඇල්ල appeared first on මව්බිම.