ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙස පෙරමුණ ගෙන සිටින ඒස් කැපිටල් පිලට ඊයේ සිය 7 වැනි තරගය අත්හැර දැමීමට සිදු විය.
රාගම ක්‍රීඩා සමාජය සමඟ ගාල්ලේදී මේ තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා තරගය අත්හැර දැමීමට කටයුතු කෙරිණි. ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.
ඒස් පිල මේ වන විට තරග 7කින් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 13ක් ලබා සිටී.
මේ අතර ඊයේ පැවති තරගයකදී කෝල්ට්ස් පිල ලකුණු 73කින් පරදවමින් තවදුරටත් ‘බී’ කාණ්ඩයේ අපරාජිත බව රැක ගැනීමට සීසීසී පිල සමත් විය. ඊයේ පැවති සෙසු තරගවලදී ජයග්‍රහණ හිමි කර ගැනීමට එස්එස්සී, මීගමුව, ටැමිල් යූනියන්, බීආර්සී, බදුරලිය සහ කුරුණෑගල යූත් කණ්ඩායම් සමත් විය. ඊයේ තරගවලදී කැපී පෙනෙන පිතිකරු බවට පත් වීමට සීසීසී පිලේ පවන් රත්නායක සමත් වූයේ ලකුණු 124ක් රැස් කරමිනි. කෝල්ට්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 117කට මුහුණ දුන් ඔහු හතරේ සහ හයේ පහර 7 බැගින් එල්ල කර තිබිණි. කෝල්ට්ස් පිලේ මුදිත ලක්ෂාන් පන්දු 46කින් ලකුණු 68ක් රැස් කළ අතර, සඳුන් මෙන්ඩිස් ක්‍රියාත්මක කළ ඕවරයකදී පිට පිට හයේ පහර 5ක් එල්ල කිරීමට ද සමත් විය. සොනාල් දිනූෂ (සීසීසී), ක්‍රිෂාන් සංජුල සහ නිපුන් ධනංජය (එස්එස්සී), මිලින්ද සිරිවර්ධන (මීගමුව), අහන් වික්‍රමසිංහ (එන්සීසී), දිනුර අබේවික්‍රමසිංහ (බීආර්සී), දුනිත් ජයතුංග (බදුරලිය), ගයන වීරසිංහ සහ දිල්හාර පොල්ගම්පොල (කුරුණෑගල) ද ඊයේ තරගවලදී අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
එස්එස්සී පිලේ නුවනිඳු ප්‍රනාන්දු සිය තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 28කට කඩුලු 5ක් දවාගත් අතර, එය දිනයේ හොඳම පන්දු යැවීම ද විය.
The post අපරාජිත ඒස් පිලේ තරගයක් අත්හැර දැමේ appeared first on දිනමිණ.