පළමු ඉලක්කය තත්පර 45.03ට අඩුවෙන් දිවීමයි
දෙවැන්න වසර 26ක් පැරණි සුගත්ගේ වාර්තාව මකා දැමීමයි
ශ්‍රී ලංකාවේ තවත් අනාගත බලාපොරොත්තුවක් වූ මීටර් 400 ශූර අරුණ දර්ශන හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.35ට පැරිස් ස්ටේට් ඩී ෆ්රාන්ස් ධාවන පථයට පිවිසෙයි. මේ තරගයේදී ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 48ක් මූලික වට 6කින් තරගයට එක්වන අතර, එයින් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනීමට නියමිතය. නව ඔලිම්පික් මලල ක්‍රීඩා රීතින් අනුව පළමුව මූලික වටයේ ජයග්‍රාහකයන් තිදෙනා බැගින් 18ක් අවසන් පූර්ව වටයට තෝරාගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපීචේජ් වටයේ’ යළි තරග කොට එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩකයන් 6කට අවසන් පූර්ව වටයේ දොරටු විවර කෙරේ.
මේ වසරේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 45.30කින් මීටර් 400 ධාවන ඉසව්වේ පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කළ අරුණ දර්ශන ඔලිම්පික් තරග බිමේදී සිය පළමු ඉලක්කය ලෙස එම වාර්තාව අබිබවා යෑමට උත්සහ කරමින් සිටී. 1998දී ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී සුගත් තිලකරත්න විසින් තත්පර 44.61කින් පිහිටුවා තිබූ වසර 26ක් තිස්සේ තවමත් නොබිඳුණු මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙළා දැමීම අරුණ දර්ශනගේ තවත් නැවුම් බලාපොෙරාත්තුවකි.
මෙවර ඔලිම්පික් තරග බිමේදී අරුණ දර්ශනට ඉහළින් ආසියාවේ ක්‍රීඩකයන් තිදෙනකු සිටින අතර, අනෙක් සියලු ක්‍රීඩකයන් යුරෝපීය, අප්‍රිකානු, අමෙරිකානු හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වේ. කටාරයේ අමාර් ඉස්මයිල් තත්පර 45.03කින්, ජපානයේ යුකි ජෝෂප් තත්පර 45.16කින් හා සාටෝ කෙන්ටාරෝ තත්පර 45.21කින් අරුණ දර්ශනට වඩා ලෝක මීටර් 400 ක්‍රීඩක වර්ගීකරණයේ ඉදිරියෙන් සිටිති.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පැමිණ සිටින පුහුණුකරු අසංක රාජකරුණා මහතා සමඟ සාර්ථක පුහුණු සැසියකට ඊයේ දිනයේ අරුණ දර්ශන එක්ව සිටියේය. එහිදී පුහුණුකරු අසංක රාජකරුණා මහතා ‘දිනමිණ’ට පැවසුවේ අරුණ දර්ශන මීටර් 400 තරගයට ඉදිරිපත් වීම උදෙසා ඉතා උද්යෝගයෙන් සිටින බවයි. “ලෝකයේ අතිදක්ෂ ක්‍රීඩකයන් සමඟ අරුණ දර්ශන තරග කරන්නේ. නමුත් ඔහුට ඒ පිළිබඳ කිසිදු චකිතයක් නෑ. හොඳ සූදානමකින් සිටිනවා. යම් පෙරළියක් කිරීමට අරුණට හැකි වේවි” රාජකරුණා මහතා පැවසීය.
1999 ජනවාරි 19දා ත්‍රිකුණාමලයට නුදුරින් සේරුවිලදී උපත ලද අරුණ දර්ශන අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූවේය. දේශීය මලල ක්‍රීඩා කෙළිබිමේ දක්ෂතම තරුණ පුහුණුකරුවකු වන අසංක රාජකරුණා මහතා යටතේ පුහුණුව ලබන අරුණ දර්ශන යුද හමුදාවේ සේවය කරමින් සිටී.
The post අරුණ හෙට අරුණාලෝකය සොයා ඔලිම්පික් ධාවන පථයට පිවිසෙයි appeared first on දිනමිණ.