අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසානයේදී සිය අපරාජිතභාවය රැක ගනිමින් කුසලාන වටයට සුදුසුකම් ලැබීමට පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයෙන් ඉසිපතන විදුහල් පිල සහ ‘බී’ කාණ්ඩයෙන් පසුගිය ලීග් ශුර සාන්ත පීතර විදුහල් පිල සමත් විය. ‘ඒ’ කාණ්ඩයෙන් ත්‍රිත්ව විදුහල සහ ‘බී’ කාණ්ඩයෙන් කොළඹ රාජකීය විදුහල් පිල ද කුසලාන වටයට සුදුසුකම් ලබා සිටී. සාන්ත තෝමස් විදුහල් පිලට එරෙහිව ඊයේ හැව්ලොක් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 41-27ක ජයක් ලබමින් තරගාවලිය පුරා සිය අපරාජිතභාවය රැක ගැනීමට ඉසිපතන විදුහල් පිල සමත් වූ අතර, පීතර විදුහල් පිල සිය අපරාජිතභාවය රැක ගනු ලැබුවේ විද්‍යාර්ථ විදුහල් පිලට එරෙහිව ඊයේ නිත්තවෙල පැවැති තරගයෙන් ලකුණු 42-3ක ජයක් වාර්තා කරමිනි. මේ අනුව දෙපිලම පළමු වටයේ සහභාගි වූ තරග 7ම ජයගැනීමට සමත් විය.
මේ අතර කොළඹ රාජකීය විදුහල් පිල සහ මහනුවර ත්‍රිත්ව විදුහල් පිල ද කුසලාන වටයට සුදුසුකම් ලබා සිටී. සුගතදාස පිටියේදී තර්ස්ටන් පිලට එරෙහිව ලකුණු 97-16ක ජයක් වාර්තා කළ රාජකීය පිල පළමු වටයේ තරග 7කින් 6ක් ජයගත් අතර, ත්‍රිත්ව විදුහල් පිල පළමු වටයේ තරග 7කින් 5 වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූයේ පෙරේදා පල්ලෙකැලේදී ධර්මරාජ විදුහල් පිල ලකුණු 40-14කින් පරාජය කරමිනි. කුසලාන වටයේ තරග ලබන සති අන්තයේ පැවැත්වීමට නියමිතය.
ෆවුස් මොහොමඩ්
ඡායාරූපය – වාසිත පටබැඳිගේ
The post ඉසිපතන-පීතර අපරාජිතවම කුසලාන වටයට රාජකීය හා ත්රිත්වත් එක් වෙයි appeared first on දිනමිණ.