තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්වයෑමට නියමිත ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළේය.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් වන අතර, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයකි.
මේ ක්‍රීඩකයන් දෙදෙනාම වසර 2කට පසුව ටෙස්ට් සංචිතයට එක්වන අතර, ඔවුන් දෙදෙනාම අවසන් වරට ටෙස්ට් තරගයකට එක්ව ඇත්තේ 2022 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදීය.
26 හැවිරිදි පැතුම් මේ වන විට ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 537ක් රැස් කර ඇති අතර, 34 හැවිරිදි වැන්ඩර්සේ ක්‍රීඩා කර ඇත්තේ ගාල්ලේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් තරගය පමණි.
තවමත් ජාත්‍යන්තර තරග වරම් ලබා නැති වේග පන්දු යවන්නන් දෙදෙනකු වන 28 හැවිරිදි මිලාන් රත්නායක සහ 33 හැවිරිදි නිසල තාරක ද කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
මේ සංචිතයෙන් ක්‍රීඩකයන් පිරිසක් මේ වන විටත් එංගලන්තය බලා ගොස් සිටින අතර, සෙසු පිරිස ඊයේ ඉන්දියාවට එරෙහිව නිමාවූ එක්දින තරගාවලියෙන් අනතුරුව එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබිණි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 3ක් පැවැත්වෙන අතර, පළමු තරගය මේ 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, ළහිරු කුමාර, නිසල තාරක, මිලාන් රත්නායක.
The post වසර 2කට පසු පැතුම්-වැන්ඩර්සේ ටෙස්ට් සංචිතයට appeared first on දිනමිණ.