ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගය දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් තරග කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය ඊයේ (11) සමත් විය.
ඒස් පිල මේ තරගාවලියක ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී ඒස් පිල හමුවේ සීසීසී ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජයට පත්විය. අනුශූර සීසීසී පිලට රුපියල් 2,500,000ක මුදලක් හිමි විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සීසීසී පිල දුන් ලකුණු 252ක ඉලක්කය හඹාගිය ඒස් පිල පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් අහිමිව කර ගනිමිනි.
ඒස් පිල ජයග්‍රහණය කරා ගෙන ගිය සම්මු අශාන් නොදැවී ලකුණු 97ක් රැස් කළේ පන්දු 111කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟිනි. සිව් වැනි කඩුල්ලට රවීන් ද සිල්වා (38) සමඟින් ලකුණු 80ක් එක් කළ අශාන් අනතුරුව සකුණ ලියනගේ (25) සමඟ ගොඩනැඟූ සබඳතාව ලකුණු 56කි.
ඒස් පිලේ මුල් කඩුලු 2ක ලකුණු 6ක් තුළ බිඳ වැටුණු අතර, තෙවැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කිරීමට නායක තනුක දාබරේ (48) සහ රවීන් ද සිල්වා සමත් වූහ. පන්දු යැවීමේදී සොනාල් දිනූෂ සහ ඉසුර උදාන කඩුලු 2ක් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් සීසීසී ඉනිමේ මුල් කඩුලු 7 ලකුණු 141ක් තුළ බිඳ වැටුණු අතර, අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි ඉසුරු උදාන වේගවත් ලකුණු 80ක් රැස් කරමින් ඉනිම ගොඩනැඟීය. හතරේ සහ හයේ පහර 7 බැගින් එල්ල කළ ඔහු සිය ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 46ක් පමණි. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 33ක් ඉනිමට එක් කළේය.
පන්දු යැවීමේදී වනුජ සහන් සහ නිම්සර අතරගල්ල කඩුලු 3 බැගින් බිඳ දැමූහ.
අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සම්මු අශාන් සමත් වූ අතර, ඔහුට රුපියල් 750,000ක මුදලක් හිමි විය.
මෙවර තරගාවලියේ වීරයා සම්මානය සමඟ රුපියල් ලක්ෂ 15ක මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ නායක තනුක දාබරේ සමත් වූ අතර, දක්ෂතම පිතිකරු ලෙස තරග 8කදී ලකුණු 388ක් රැස් කළ එස්එස්සී පිලේ ක්‍රිෂාන් සංජුල සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 7කදී කඩුලු 16ක් බිඳ දැමූ මීගමුව කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර සම්මාන දිනා ගත්හ. ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් පිරිනැමිණි.
සීසීසී – 251 (ඕවර 45.5) ඉසුරු උදාන 80, ලසිත් කෲස්පුල්ලේ 33 (වනුජ සහන් 47/3, නිම්සර අතරගල්ල 55/3)
ඒස් කැපිටල් – 254/6 (ඕවර 49.1) සම්මු අශාන් නොදැවී 97, තනුක දාබරේ 48, රවීන් ද සිල්වා 38 (සොනාල් දිනූෂ 33/2, ඉසුර උදාන 47/2).
නිරෝෂාන් ප්‍රියංකර
The post ඒස් කැපිටල් පළමු වරට අන්තර් සමාජ එක්දින ශූරතාව දිනයි appeared first on දිනමිණ.