ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බලය ලබා ගැනීමට එක්ව කටයුතු කළ වත්මන් සභාපති ජස්වර් උමර් මහතා, උප සභාපතිවරුන් ලෙස කටයුතු කරන රංජිත් රුද්රිගූ හා මනිල් ප්‍රනාන්දු යන මහත්වරු අතර හටගෙන ඇති මතභේද හේතුවෙන් ‘පාපන්දු තුන් කට්ටුව’ දෙකට කැඩෙයි. වසරකට ආසන්න කාලයකට පෙර බලය ලබාගත් මේ පිරිස මෙතෙක් පැවැත්වූ ඇතැම් විධායක සභා රැස්වීම්වල තොරතුරු එළියට යෑමෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය මේ පිල් බෙදීමට හේතුවී ඇත.
මේ ආකාරයෙන් ප්‍රබලයන් බෙදී කටයුතු කිරීමෙන් පාපන්දු ක්‍රීඩාවට යහපතක් නොවන හෙයින් ඉතා ඉක්මනින් පාපන්දු සම්මේලනය විසුරුවා ඡන්දයක් පවත්වන ලෙස රටපුරා පාපන්දු ලීග් බහුතරයක් සභාපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කොට ඡන්දයක් පැවැත්වීමට සභාපතිවරයා අපොහොසත් වුවහොත් මේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එම පාපන්දු ලීග් ප්‍රධානීහු සූදානමින් සිටිති.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 දා පැවති නිලවරණයේදී රටපුරා පාපන්දු ලීග් 66ක ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 25ක ජයක් සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතාගේ කණ්ඩායම දිනා ගත්තේය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම නිලවරණයේදී සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතාගේ කණ්ඩායම ඡන්ද 45ක් ලබා ගැනීමෙන්, දක්ෂිත සුමතිපාල මහතා පරාජයට පත්විය. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 70කින් ජස්වර් මහතා ලැබූ ජයග්‍රහණයකි. නිලවරණයේදී පොලිස් ක්‍රීඩා සමාජය ඡන්ද විමසීමට සහභාගි නොවූ අතර, කිළිනොච්චි පාපන්දු ලීගයේ ඡන්දයට දෙපිරිසක් අයිතිවාසිකම් කීමේ ආරවුලක් හේතුවෙන් එම ඡන්දය අවලංගු කිරීමට පාපන්දු නිලවරණ කමිටුව පියවර ගත්තේය.
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ජාත්‍යන්තර තහනම ඉවත්වීමෙන් පසු පැවති මේ නිලවරණයේදී පාපන්දු ලීග්වල බොහෝ දෙනාගේ ඉල්ලීම් අනුව ප්‍රධාන පාර්ශ්වකරුවන් වූ ජස්වර් – රංජිත් – මනිල් අතර ‘සමගියක්’ නිර්මාණයවීම බහුතර පාපන්දු ලීග් ප්‍රධානීන්ගේ ප්‍රසාදයට හේතු විය. එහෙත් ගතවූ කාලය පුරා පාපන්දු සම්මේලනයේ ඇතැම් විධායක සභා රැස්වීම්වල තීරණ එළියට යෑමෙන් අවස්ථා කිහිපයකදී සභාපතිවරයා හා උප සභාපතිවරු අතර ප්‍රශ්න හටගෙන ඇත. ඇතැම් විධායක සභා තීරණ රැස්වීම නිමාවූ වහාම සමාජ මාධ්‍ය ජාලා වෙත යෑමෙන් ප්රශ්නය තව තවත් උත්සන්නව පැවතුණි.
මේ අතර පසුගිය නිලවරණයේදී පරාජිත අපේක්ෂකයකු හා පාපන්දු විධායක කමිටු සාමාජිකයකු අතර පැවති රහස් සාකච්ඡාවක තොරතුරු අනාවරණයවීම ද මේ අසමඟිය නිර්මාණයවීමට බලපෑ තවත් කරුණකි. ජස්වර් මහතා ප්රමුඛ පාර්ශ්වය ‘කුණු තක්කාලි’ ලෙසින් හැඳින්වූ පරාජිත පාර්ශ්වයේ අපේක්ෂකයකු සමඟ වත්මන් විධායක සභිකයකු පැවැත්වූ සාකච්ඡා බහුතර පාපන්දු ලීග් ප්‍රධානීන්ගේ අප්‍රසාදයට හේතුවී ඇතැයි ද පැවසේ.
මේ සම්බන්ධ කළුතර දිස්ත්‍රික්කයේ පාපන්දු ලීගයක ප්‍රධානියකු ‘දිනමිණ’ට පැවසුවේ තුන් කට්ටුව විරසකවීම කනගාටුවට කරුණක් බවයි. “ පාපන්දු සම්මේලනය විසුරුවා ඡන්දයක් තිබ්බොත් මේකේ ලොක්කෝ දෙන්නෙක් තුන්දෙනකුට නව නීති අනුව ඡන්දය ඉල්ලන්න බෑ. ඒ වගේම පසුගිය නිලවරණ කිහිපයක පරාජිතයන්ටත් ආයේ ගොඩ ඒමක් නෑ. මේ නිසා එකතු වෙලා කඩාකප්පල් වැඩ සිදු කරනවා. ඇතැම් අය බලය ගන්නකොට දැක්කේ නැති වැරදි දැන් පෙන්නනවා. ලීග්වල ඉන්නේ අත්දැකීම් ඇති අය. මෝඩයට අන්දවන්න කාටවත් බෑ. අපි ඉන්නේ පාපන්දුවට වැඩක් කරන මිනිස්සුත් එක්ක විතරයි” ලීග් ප්‍රධානියාගේ අදහස විය.
The post විධායක සභා රහස් ‘ලීක්’ වී තුන් කට්ටුව දෙකට කැඩෙයි appeared first on දිනමිණ.