ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි F44 (දණහිසට පහළින් එක් පාදයක හෝ පාද දෙකෙහිම ක්‍රියාකාරීත්වය මධ්‍යස්ථ ලෙස අඩුව ඇති) කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් සමත් විය.
පැරිස් ස්ටේට් ඩී ෆ්රාන්ස් ක්‍රීඩාංගණයේ පෙරේදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30ට නිමාවූ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මීටර් 67. 03ක දක්ෂතාවකින් සමිත දුලාන් දෙවැනි තැනට පත් විය. මේ වසරේ මැයි මාසයේ ජපානයේ කොබේහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී සමිත දුලාන් විසින් මීටර් 66. 49කින් පිහිටුවා තිබූ තමාගේම ලෝක වාර්තාව පැරිස් නුවර දක්ෂතාවයෙන් මකා දැමුවේය.
මේ ඉසව්ව දණහිසට පහළින් එක් පාදයක හෝ පාද දෙකෙහිම ක්‍රියාකාරීත්වය අඩු වැඩි වශයෙන් ඇති F42, F44 හා F64 යන කාණ්ඩ 3ක ක්‍රීඩකයන් 10ක් තරග කළ අතර, F64 ක්‍රීඩක ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් මීටර් 70. 59කින් රන් පදක්කම හා සමිත දුලාන්ගේ F44 කාණ්ඩයෙන් තරග කළ ඔස්ට්‍රේලියාවේ මයිකල් බෘයේන් මීටර් 64. 89කින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.
මේ පදක්කමත් සමඟ සමිත දුලාන් පැරාලිම්පික් තරග බිමේ දිනාගත් දෙවැනි පදක්කම සටහන් කළේය. එමෙන්ම ඔහුගේ දක්ෂතාව මෙවර පැරාලිම්පික් උලෙළේදී මෙතෙක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වූ එකම පදක්කම වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියට අනුයුක්තව සේවය කරන 34 හැවිරිදි සමිත දුලාන් සාජන් මේජර් තනතුරේ රාජකාරී කටයුතු කරමින් සිටී. 2017 වසරේදී රිය අනතුරකට ලක්වී ඔහුගේ දකුණු පාදයේ වළලුකර ප්‍රදේශයේ සුවකළ නොහැකි තත්ත්වයේ ආබාධයක් ඇති වූ අතර, එයින් අධෛර්යමත් නොවී ජීවිතය වෙනස් කළ පැරා ක්‍රීඩාව ආරම්භ කළේය. 2019 ඩුබායිහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු හෙල්ල විසි කිරීමෙන් සිව්වන ස්ථානයට පත් වූ අතර එම දක්ෂතා හේතුවෙන් 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ දොරටු විවර විය.
අනතුරුව පැවති ජාතික තරගාවලියකදී හෙල්ල විසි කිරීම මීටර් 61කට වඩා වැඩි කරමින් දක්ෂතා පෙන්වූ හෙයින් ඔහු නිසැකයෙන්ම පදක්කම් අපේක්ෂාවක් වනු ඇතැයි පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා බලාපොරොත්තු පළ කරමින් නිරන්තර පුහුණුවීම්වලට යොමු කළේය. දෙනියාය මධ්‍ය මහා විදුහලෙන් හා මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී දුලාන් හෙල්ල විසිකිරීමෙන් සමස්ත ලංකා පාසල් තරගාවලි නියෝජනය කර තිබීම ජාතික තලයේ ඉදිරියට පැමිණීමට පහසුවක් විය.
“මා ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටියදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව කරගෙන ගියා. යතුරු පැදි අනතුර හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වුණා. මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා මාව දිරි ගැන්වූවා. ඒ වගේම යුද හමුදාව ක්‍රීඩාව කරගෙන යාමට හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා මට පදක්කම් අතරට යෑමට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දීමට කළ හැකි සෑම වෙහෙසක්ම දරනවා” සමිත දුලාන් ප්‍රංශයේ පැරිස් නුවර සිට ‘දිනමිණ’ට පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර
The post සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් සමඟ පැරාලිම්පික් රිදී පදක්කමක් appeared first on දිනමිණ.