ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා පළමු තරගය අද පස්වරු 3.45ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වේ. අදින් පසු ශ්‍රී ලාංකේය ජනතාව ක්‍රිකට් ක්‍රීඩාවට සේම පාපන්දු ක්‍රීඩාවටත් ආදරය කරනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු පිලේ නව පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතේරි මහතා පැවසීය. ශ්‍රී ලංකා පාපන්දු නිවහනේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ ජයග්‍රහණය සේම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සතුටු කරවනසුලු ක්‍රීඩාවක නිරතවීමට තම ක්‍රීඩකයන් සූදානම් කොට ඇති බවයි.
වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව කාම්බෝජියාව 180 වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම 205 වැනි ස්ථානයේ පසු වේ. එම ශ්‍රේණිගත කිරිම් කෙසේ වුවද ශ්‍රී ලංකා පිල හොඳ සටනක් ලබාදීමේ මානසිකත්වයක පසුවන බව ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පැවසීය.
දෙරට අතර ඉතිහාසයේ පැවති තරග දෙකකදී දෙපිලම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයක පසුවේ. 2001 මාර්තු මාසයේදී පැවති ශ්‍රී ලංකාව හා කාම්බෝජියා අතර තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල් 1-0ක ජයක් අත්කරගත් අතර, 2016 ඔක්තෝබර් මාසයේ පැවති තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය. එම තරගයට නායකත්වය දුන් සුජාන් පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකුම මෙවර ද කණ්ඩායම සතුව සිටී.
“නව පුහුණුකරු අපට උපදෙස් දී තියෙන්නේ නිදහසේ ක්‍රීඩා කරන ලෙසයි. කාම්බෝජියාවට හොඳ සටනක් දෙනවා” නායක සුජාන් පෙරේරා පැවසීය.
ශ්‍රී ලංකා හිටපු පාපන්දු පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා නිමාවට පත්වූ බෲනායි සමඟ තරගයේදී ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබන හෙයින් නව පුහුණුකරු අබ්දුල්ලා අල් මුතේරි මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලට එක් වූවේය. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා කටාර් පාපන්දු සම්මේලනය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව කටාර් ඇස්පයර් පුහුණු ඇකඩමිය අබ්දුල්ලා අල් මුතේරි මහතා ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
අබ්දුල්ලා අල් මුතේරි මහතා යටතේ මාලදිවයිනේ පැවති පසුගිය දකුණු ආසියානු ශූරතාවලියේදී නේපාල ජාතික කණ්ඩායම අවසන් මහා තරගයට යොමු කිරීම ඉහළම දක්ෂතාව වේ.
“ඇටෑකින් ෆුට්බෝල් ගහන හැටි මම ක්‍රීඩකයන්ට කියා දුන්නා. තරගයට බය වෙන්න බෑ. සියයට 1000ක් කැප වෙලා ප්‍රතිවාදියාට එරෙහිව සටන් කළ යුතුයි. ක්‍රීඩා පිටියේ ඉන්නේ සිංහයෝ. නරඹන්නන් සතුටට පත්වන ආකාරයට ක්‍රීඩා කිරීම සිංහයන්ගේ අරමුණ විය යුතුයි. අපේ ළඟ විදෙස් ක්‍රීඩකයෝ නෑ. විදෙස් රටවල සිටින ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රීඩකයෝ කණ්ඩායමේ ඉන්නවා. අද ඉඳන් ශ්‍රී ලංකාවේ වෙනස් පාපන්දු රටාවක් දැක බලා ගන්න පුළුවන්” අබ්දුල්ලා අල් මුතේරි මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
කාම්බෝජියා පාපන්දු පිලට නායකත්වය ලබා දෙන්නේ 33 හැවිරිදි තියෙරි චාන් බින් ක්‍රීඩකයාය. “අපට හොඳ අභියෝගයක් එල්ලවී තිබෙනවා. මේ දේශගුණය ක්‍රීඩාවට ඉතාම උචිතයි. කාම්බෝජියාව තරමක් මෙයට වඩා උණුසුම්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඉතා හොඳින් අපව බලා ගන්නවා. ඒ පිළිබඳවත් ස්තූතියි” තියෙරි චාන් පැවසීය. කාම්බෝජියා පාපන්දු පිල ආජන්ටිනා ජාතික ෆීලික්ස් ඩල්මාස් මහතාගේ පුහුණුව යටතේ පිටියට පිවිසේ.
ප්‍රින්ස් ගුණසේකර
The post අදින් පසු ලාංකිකයන් ක්‍රිකට්වලට වගේම පාපන්දු ක්‍රීඩාවටත් ආදරය කරාවි appeared first on දිනමිණ.