ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාර වලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක අධිකාරිය පවසයි.
මෙම මානුෂීය කලාපයේ කඳවුරුවල රැඳී සිටින්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, ගාසා තීරයේ නන්දෙසින් පැමිණි පලස්තීනුවන්ය.
ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මියගියේත් තුවාල ලැබුවේත් කාන්තාවන් සහ කුඩා දරුවන්ය.
පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මෙම මානුෂීය කලාපය ඇත්තේ, කාන් යූනිස් නගරයට දකුණු දෙසිනි.
පලස්තීන වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කළත්, මෙම මානුෂීය කලාපයට මීට පෙර ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය ජූලි මාසයේ හමාස් නායක මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූයේ ද මෙම මානුෂීය කලාපයට පහර දෙමිනි.
ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ තම ගුවන් යානය හමාස් සටන්කාමීන්ට අයත් ඛාන් යුනිස් හි මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට හානි කිරීමේ අවදානම අවම කිරීමට තමන් පියවර ගත් බවත් ය.
කෙසේ වෙතත් එහි සිටි වැසියන් සිදුකළ ප්‍රකාශ වලින් අනාවරණය වී ඇත්තේ ඛාන් යුනිස් නගරයට බටහිර දෙසින් පිහිටි අල්-මාවාසි හි මානුෂීය කලාපයේ අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගත් කූඩාරම් ඉලක්ක කර ප්‍රහාර තුනක් එල්ල කළ බවයි.
The post ගාසා තීරයේ ආරක්ෂිත කලාපයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 40ක් මරුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.