එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ‘බස්බෝල්’ නම් ආක්‍රමණශීලී ස්වභාවයට ගෙනගොස් ශ්‍රී ලංකාව ප්‍රතිවාදියකු ලෙස නොපිළිගැනීමෙන් වන්දි ගෙවීමට සිදු වූ බව එංගලන්ත හිටපු ක්‍රිකට් නායක මයිකල් වෝන් පවසයි. පළමු ඉනිමේ එංගලන්තය පෙරමුණ ගෙන සිටියද ආක්‍රමණශීලී බව වැඩි වීම හේතුවෙන් දෙවැනි ඉනිමේ ගිලා බැසීමට ලක්වූ බව මයිකල් වෝන් පවසා සිටී.
ශ්‍රී ලංකාවට එරෙහි ඕවල් ටෙස්ට් තරගය කඩුලු 8කින් එංගලන්තය පරාජයවූ පසු වෝන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විවේචනය කළේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පිල අවතක්සේරු කිරීමෙන් එංගලන්තයට වන්දි ගෙවීමට සිදු වූ බවයි. එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් නොසලකා හරින බවට වෝන් චෝදනා කළේය.
එංගලන්තය ඕවල් පිටියේ පළමු ඉනිම සඳහා එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 261ක් ලබා සිටියද එතැන් සිට ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 325කින් අවසන් විය. අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 263කට සීමා කළ එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 62ක ඉදිරියක් ලබා ගත්තේය. පසුව දෙවැනි ඉනිමේදී ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 219ක් රැස් කරමින් තරගය ජය ගත්තේය.
එංගලන්තය ශ්‍රී ලංකා ඉනිමේදී ආක්‍රමණශීලී පන්දු පිටියක් සකස් කළද, පැතුම් නිශ්ශංක ආයාසයකින් තොරව ලකුණු රැස් කළ බව මයිකල් වෝන් ‘ද ටෙලිග්‍රාප්’ පුවත්පතට අදහස් දැක්වීය.
“එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සුළු දෙයක් බවට පත්කර තිබෙනවා. පිතිකරණයේදී සහ පන්දු රකින්නන් ස්ථානගත කිරීමේදී අමතර ආක්‍රමණශීලී බව පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදියකු ලෙස නොපිළිගෙනයි.
එංගලන්තය හොඳ තරගයකින් පසු සෑහීමකට පත්වීම දැන් පුරුද්දක් කරගෙන තියෙනවා. එය අළු බඳුන තරගාවලියේදී සහ වසර මුලදී රාජ්කොට්හි පැවති තරගවලදී දක්නට ලැබුණා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රහාරවලින් පමණක් හසුරුවන්න බැහැ. ඉන්දියාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙවැනි ක්‍රීඩා කළොත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ” මයිකල් වෝන් පැවසීය.
The post එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනවා appeared first on දිනමිණ.