ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී කාම්බෝජියාව ගෝල් 4-2කින් පරාජය කළ ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක ශ්‍රේණිගත කිරීමේ 200 වැනි ස්ථානයෙන් පහළ සංඛ්‍යාවකින් ප්‍රගතියක් ලබා ගනු ඇත.
කාම්බෝජියාව සමඟ පළමු තරගය ජය පරාජයෙන් තොරවීම හේතුවෙන් ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිට 203 වැනි ස්ථානය දක්වා පැමිණි අතර, දෙවැනි තරගයේ ජයග්රහණයෙන් පසු 199 වැනි ස්ථානය දක්වා උසස් වනු ඇතැයි විශ්වාසය වී තිබේ. එම නවතම ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නිල ලේඛනය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරීන් අතර පිල්බෙදීම් හා කඹ ඇදීම් තිබියදී ජාතික පාපන්දු පිල වසර ගණනාවකට පසු ප්‍රගතියක් ලබා ගැනීම විශේෂත්වෙයකි. වසර 1998දී ජාතික පාපන්දු පිල ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 122 වැනි ස්ථානයේ සිටි අතර, 2019දී 205 වැනි ස්ථානයට පත් විය. 2022 වසරේදී යළි ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පහළට ඇද වැටී 207 වැනි ස්ථානයට පත්වූ අතර, ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතාගේ සභාපතිත්වය යටතේ ප්‍රගතියක් ලබමින් සිටී.
කම්බෝජියාවේ පෙනේම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ජය ලැබූ ශ්‍රී ලංකා පාපන්දු පිල පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, නායක සුජාන් පෙරේරා පැවසුවේ හොඳ තරගාවලියක් නිමා කිරීම පිළිබඳ සතුටට පත්වන බවයි.
“ශ්‍රී ලංකා රුධිරය ඇති ක්‍රීඩකයන් අපේ කණ්ඩායමේ ඉන්නේ. ඔවුන් විදෙස් තරග අත්දැකීම් ඇති ශ්‍රී ලාංකිකයන්. අපට ඉදිරියේදී හොඳින් ක්‍රීඩා කළ හැකි වෘත්තීය මට්ටමේ කණ්ඩායමක් ඉන්නවා. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරැළියක් කිරීමට අපේක්ෂා කරනවා” සුජාන් පෙරේරා පැවසීය.
“ඉතාම තියුණු තරගයකින් ජයග්‍රහණය ලබා ගත්තා. වසර 2ක් තිස්සේ සෑහෙන්න සැලසුම් කළා. මේක අදියරෙන් අදියරට ආපු ගමනක්. මේක අමතක නොවන ජයක්. මෙතැනින් එහාට ආසියානු කුසලාන තෙවැනි වටයට තරග වදිනවා. ඒ තරගාවලිය ඉතාම තියුණු එකක් වේවි. ඒ තරගාවලියට කලින් ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී තරග 4ක් පැවැත්වෙනවා. අපි ඉල්ලා සිටින්නේ පාපන්දුව සමඟ ඉන්න කියලයි. ඉදිරියේදී ගොඩක් දේවල් හදා ගන්න තියෙනවා. අපේ කණ්ඩායම තාක්ෂණික පැත්තෙන් හොඳයි. සුහද පාපන්දු තරගවලින් අත්දැකීම් ගත යුතුයි. මේ ශ්‍රී ලංකාවේ කොල්ලෝ. රටේ ජාතික කණ්ඩායමට හොඳම දක්ෂ ක්‍රීඩකයින් එක් කිරීම අපේ සැලසුමයි“ ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පැවැසීය.
ලබන වසරේ මාර්තු 25 සිට 2026 මාර්තු 31 දක්වා පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු කුසලාන තෙවැනි වටය සඳහා ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, බෲනායි, චීන තායිපේ, උතුරු ටිමෝරය, හොංකොං, ඉන්දියාව, ලාඕසය, ලෙබනය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, සිරියාව, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, තායිලන්තය, ටර්කිමිනිස්තානය, වියට්නාමය හා යේමනය යන රටවල් සුදුසුකම් ලබා සිටිති.
මේ තරග කාලසටහනට අදාළ කුසපත් ඇදීම මේ වසරේ දෙසැම්බර් 9 දින සිදු කෙරෙන අතර, එදිනට ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තත්ත්වයන් සලකා බැලීමට ද නියමිතය. කණ්ඩායම් 24 කාණ්ඩ හතරක් යටතේ කාණ්ඩ හයකට දමා මේ තරග කාලසටහන සූදානම්වන අතර, එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයා පමණක් අවසන් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
The post ශ්‍රී ලංකා පාපන්දුව ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට එයි appeared first on දිනමිණ.