ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරුන් වන අසංග සෙනෙවිරත්න සහ ලසිත් ගුණරත්න මහත්වරුන්ගේ පාලන සමයේදී සිදුවූ බව කියන ආගමන විගමන පනත උල්ලංඝනය වීම සහ මූල්‍ය අවභාවිතය පිළිබඳ කළ පැමිණිල්ලට අනුව ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා විසින් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර නොගැනීම සම්බන්ධව හිටපු රග්බි සභාපතිවරයකු වන රිස්ලි ඉල්යාස් මහතා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් විමර්ශනයක් ඉල්ලීමට නියමිතව ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ.
වසර 2012 සිට 2018 දක්වා කාලය තුළ රග්බි ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසංග සෙනෙවිරත්න මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදෙස් රග්බි ක්‍රීඩකයන් තිදෙනකුට වංචනික ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර ලබාදී ජාත්‍යන්තර රග්බි තරග සඳහා යොදා ගැනීම සහ ඒ සම්බන්ධව ලෝක රග්බි සම්මේලනය හමුවේ වරද පිළිගෙන ස්ටර්ලිං පවුම් පනස්දහසක දඩයකට යටත් වූ එවකට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විධායක සභාවේ අනුමැතියකින් තොරව එම දඩ මුදල ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනයට ලබා දෙන මූල්‍යාධාරයෙන් වාර්ෂිකව අඩුකර ගැනීමට ලෝක රග්බි සම්මේලනයට අවසර දීම ගැනත් පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වන චූලානන්ද පෙරේරා මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට නිර්දේශ යොමු කර ඇත්තේ මීට මාස දෙකකට පෙර බව ද වාර්තා වේ.
මීට අමතරව වසර 2018 සිට 2020 දක්වා රග්බි ආයතනයේ සහාපතිවරයා ලෙස ලසිත ගුණරත්න මහතා කටයුතු කළ සමයේදී සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අවභාවිතයත්, ආදායමට වඩා මුදල් වැය කිරීම ගැන වරලත් ගණකාධිකාරි සමාගමක මූල්‍ය ප්රකාශනයක් ද සමඟ ඉදිරිපත් වූ තොරතුරුවලට අනුව ඉදිරියේදී රග්බි ආයතනය විසින් පැවැත්වීමට අපේක්ෂිත තරගාවලි හා විවිධ උත්සවත්, ආදායම් උපයා ගන්නා ආකාරය පිළිබඳ ඇස්තමේන්තුවකුත් වසර ආරම්භයේදීම විධායක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ගැනීම සුදුසු බවට ඔම්බුඩ්ස්මන්වරයා නිර්දේශ කර තිබූ බව ද වාර්තා වේ.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා මඟින් ඔම්බුඩ්ස්මන්වරයා ක්‍රීඩා අමාත්‍යවරයාට මේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ 2024 මැයි මාසයේ 3 වැනිදා නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එවැනි පැමිණිලි දින 14කට පෙර ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයාට ඉදිරිපත් කළ යුතුව තිබූ බැවින් මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ඔම්බුඩ්ස්මන්වරයාට නීතිමය අධිකාරියක් නොමැතිවීම හේතුවෙන් බව ද වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්
The post ඔම්බුඩ්ස්මන්ගේ නිර්දේශ ක්‍රියාත්මක නොකළ ක්‍රීඩා ලේකම්ට එරෙහිව හිටපු රග්බි සභාපති විමර්ශනයක් ඉල්ලයි appeared first on දිනමිණ.