ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සංවිධායකත්වයෙන් ඊයේ ආරම්භ වූ 82 වැනි ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග මීගමුව බීච් පාක් උද්‍යානයේ පැවැත්වෙන බවත්, එය මෙරට බොක්සිං ඉතිහාසයේ එළිමහනේ තරග පැවැත්වෙන පළමු අවස්ථාව බවත් ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වසර අටකට පසු පළමුවරට ශ්‍රී ලංකා බොක්සිං සංචිත ගොඩනැඟීම සඳහා තෝරා ගැනීමේ තරගාවලියක් ලෙසත් පැවැත්වෙන ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලියේ මූලික වටයේ තරග හෙට (3) අවසන් වන අතර, අවසන් පූර්ව සහ අවසන් මහා තරග ලබන 4 සහ 5 දෙදින මීගමුවේදී පැවැත්වීමට නියමිතය.
නව බොක්සිං නිලධාරි මණ්ඩලය පත්වී මාස 4ක් වැනි කෙටි කාලයකදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවූ බවත්, ෂී ෂෙල්ස් සහ තායිපේ තරගාවලි සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත්වූ බවත් බොක්සිං සභාපතිවරයා සඳහන් කළේය. ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලිය පිළිබඳ පෙරේදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොක්සිං සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන නොවැම්බර් මස ජෝර්දානයේ පැවැත්වෙන ආසියානු බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට ද ඉවහල් වන බවය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලියේ අවසන් තරග එළිමහනේ පැවැත්වීමෙන් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මෙන්ම විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද ඉවහල් වනු ඇතැයි බොක්සිං සභාපතිවරයා කියා සිටියේය. ඉදිරියේදී ගාල්ල හා මහනුවර කේන්ද්‍ර කරමින්
පැවැත්වීමට නියමිත
තරගාවලි ද එළිමහනේ පැවැත්වීමට
අවධානය යොමුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ෆවුස් මොහොමඩ්
The post වසර අටකට පසු බොක්සිං සංචිතයක් ගොඩනඟන ලේට්න් කුසලාන තරගාවලිය ඇරඹේ appeared first on දිනමිණ.