සංචාරක බංග්ලාද්ශ ක්‍රිකට් කණ්ඩායම සමඟ පෙරේදා පැවති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 133ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.
මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ඉන්දියාව ජය ගත්තේ 3-0ක් ලෙසිනි.
හයිද්‍රාබාද්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 164ක් පමණි. මේ ජය ඉන්දීය පිල විස්සයි20 පිටියේදී ලකුණු පරතරය අනුව ලබාගත් තෙවැනි ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක් විය. ඉන්දියාව මේ වසරේදී වාර්තා කළ 21 වැනි විස්සයි20 ජයග්‍රහණය මෙය වන අතර විස්සයි20 පිටියේ කණ්ඩායමක් වාර්තා කළ වසරක් තුළ වාර්තා කළ තෙවැනි වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ද විය.
බංග්ලාදේශය වෙනුවෙන් තව්හිද් හිරිදෝයි නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 3ක් සහ මයාන්ක් යාදව් කඩුලු 2ක් දවා ගත්හ.
ඉන්දීය ඉනිමට වේගවත් ආරම්භයක් දුන් සංජු සැම්සන් සිය මංගල විස්සයි20 ශතකය ලෙස පන්දු 47කින් ලකුණු 111ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟිනි. ලකුණු 23දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු සංජුට එක්වූ නායක සූර්යකුමාර් යාදව් ලකුණු 173ක සබඳතාවක් පිහිටවූ අතර, යාදව් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟ පන්දු 35කින් ලකුණු 75ක් රැස් කළේය.
මේ තරගයේදී ඉන්දීය පිල රැස් කළ ලකුණු 297 විස්සයි20 පිටියේ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ටෙස්ට් වරම් හිමි රටක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය. මින් පෙර 2019 වසරේ ඇෆ්ගනිස්තානය අයර්ලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 278 ටෙස්ට් රටක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර, විස්සයි20 පිටියේ ඉහළම ලකුණු සංඛ්‍යාවට නේපාලය හිමිකම් කියන්නේ පසුගිය වසරේ මොන්ගෝලියාවට එරෙහිව රැස් කළ ලකුණු 314 සමඟිනි
The post වාර්තා රැසක් අලුත් කරමින් ඉන්දියාව 3-0කින් විස්සයි20 දිනයි appeared first on දිනමිණ.