මේ මස අග භාගයේ ආරම්භ වීමට නියමිත 2024-2025 ලීග් රග්බි තරගාවලිය සඳහා කමිටු 5කින් සමන්විතව පත්කර ඇති බවට ප්‍රසිද්ධියට පත්වී ඇති නාම ලේඛනය පළාත් රග්බි සංගම් සහ ක්‍රීඩා සමාජ අතර දැඩි විමතියට කරුණක් වී ඇතැයි ආරංචි මාර්ග වාර්තා කළේය. ෂම්රාත් ප්‍රනාන්දු තරගාවලි අධ්යක්ෂවරයා ලෙස නම් කරමින් ප්‍රසිද්ධියට පත්වූ එම ලේඛනයට තරගාවලි කමිටුව, අනුග්‍රාහක කමිටුව, විනය කමිටුව, තාක්ෂණ කමිටුව සහ තරගාවලි මෙහෙයුම් කමිටුව ලෙස කමිටු පත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට රග්බි ක්‍රීඩාවේ නිසි බලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා වන අතර, ලීග් තරගාවලිය සඳහා කමිටුවක් පත් කිරීමේ වගකීම හා අයිතිය ද ඔහු සතුව ඇති බැවින් මේ වන විට ප්‍රසිද්ධියට පත්වී ඇති තරගාවලි කමිටු නාමලේඛනය ඔහුගේ අනුදැනුම යටතේ සකස් වූ බවට ද තොරතුරු වාර්තා වේ.
එසේ වුවද මේ පිළිබඳ ‘දිනමිණ‘ කළ විමසුමකදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කිසිදු අවස්ථාවක එවැනි කමිටුවක් පත් නොකළ බවය.
‘මම එහෙම කමිටුවක් අද වෙනකල් පත් කරලා නෑ. ඒක මම කරන්නේ නිසි බලධාරීන්ගෙන් හරි විදිහට අනුමැතිය අරගෙනයි. ඔය නිකුත් වෙලා තියෙනවාය කියන ලීග් තරගාවලි කමිටුව එක් එක්කෙනා අනුමාන කරලා හදපු එකක් වෙන්න ඇති.‘ ලීග් තරගාවලිය සඳහා තරගාවලි කමිටුවක් නම් කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා එසේ කීවේය.
‘ලීග් තරගාවලි කමිටුව මම පුළුවන් තරම් ඉක්මනට ප්‍රසිද්ධ කරනවා. මටත් නම් කිහිපයක් ඉදිරිපත්වෙලා තියෙනවා මේ අය හොඳයි කියලා කමිටුවට ඇතුළත් කරන්න කියලා. ඒ වුණාට හරි විදිහට උපදෙස් අනුව අනුමැතිය අරගෙන තමයි මම කමිටුව පත් කරන්නේ. මගේ බලාපොරොත්තුව කොහොමහරි නොවැම්බර් 22 වැනිදා තරගාවලිය ආරම්භ කරන්නයි.‘ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු කියා සිටියේය.
නියමිත කාලසීමාව ඇතුළත වාර්ෂික මහ සභාව සහ නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රග්බි ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි නිලධාරී මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු පත් කළ අතර, එසේ විසුරුවා හරිනු ලැබූ අවස්ථාවේදී රග්බි ආයතනයේ නිලතල දැරූ පුද්ගලයන් ද, අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ පා සිටින නිලධාරීන් ද ප්‍රසිද්ධියට පත් වී ඇති ලීග් තරගාවලි කමිටුවට ඇතුළත් වී ඇතැයි වාර්තාවේ. ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා එවැනි කමිටුවක් මෙතෙක් පත්කර නොමැති නම් සාවද්‍ය ලීග් රග්බි තරගාවලි කමිටුවක් සකස් කර පළාත් සංගම් සහ ක්‍රීඩා සමාජ අතරට නිකුත් කළ අදෘෂ්‍යමාන බලවේගය පිළිබඳ සොයා බැලීම ද ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වගකීමක් බව පළාත් සංගම්වල අදහස වී තිබේ.
ප්‍රසිද්ධියට පත් කර ඇති ලීග් රග්බි තරගාවලි කමිටුවේ තරගාවලි අධ්යක්ෂවරයා ලෙස ෂම්රාත් ප්‍රනාන්දුගේ නම සඳහන් වන අතර, එහි සභාපති අනුග්‍රාහක කමිටු සභාපති ලෙස රොහාන් අබේකෝන්ගේ, විනය කමිටු සභාපති ලෙස මේජර් ජෙනරාල් ක්රිෂ්ණරත්නගේ, තාක්ෂණික කමිටු සභාපති ලෙස ටෝනි අමිත්ගේ නම් සඳහන් කරමින් නිකුත් කර ඇති අතර, පූර්ණ ලැයිස්තුවට නම් රැසක් ඇතුළත්ය
The post රග්බි පිටියට උඩින් පහත්වුණු කමිටුවක් appeared first on දිනමිණ.