ක්‍රිකට් හොංකොං විසින් සංවිධාන කළ ‘හොංකොං සික්සර්ස් 2024’ ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව දිනා ගැනීමට ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි. 1992 වසරේ ආරම්භ වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව 2007 වසරේ ඉන්දික ද සේරම්ගේ නායකත්වයෙන් පළමු වරට ශූරතාව දිනා ගෙන තිබිණි.
හොංකොංහි මොංකොක් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී අවසන් වරට පැවති (2017) අනුශූරයන් වූ පාකිස්තානය කඩුලු 3කින් පරාජයට පත් විය. 20 වැනි වරට පැවති මේ තරගාවලියේදී වැඩිම ශූරතා ගණනකට හිමිකම් කියන පාකිස්තානය (5) අනුශූරයන් බවට පත්වූයේ 6 වැනි වරටය.
අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කරමින් ශ්‍රී ලංකාවත්, ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජය කරමින් පාකිස්තානයත් අවසන් තරගයට එක් විය.
මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදුන් අතර, ඔවුන්ට ඕවර 5.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 72ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 5කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.
සඳුන් වීරක්කොඩි හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 13කින් ලකුණු 34ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් දුන් අතර, නායක ළහිරු මදුෂංක පන්දු 5කදී හයේ පහර 3ක් සමඟ ලකුණු 19ක්, තරිඳු රත්නායක පන්දු 4කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 16ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.
පාකිස්තාන පිල වෙනුවෙන් මුහම්මද් අක්ලාක් පන්දු 20කින් ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟිනි. පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් සහ තරිඳු රත්නායක කඩුලු 2ක බැගින් දවා ගත්හ.
ලකුණු 6කට කඩුලු 2ක් දවාගත් ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, තරගාවලිය පුරා කඩුලු 8ක් බිඳ දැමූ තරිඳු රත්නායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
කණ්ඩායම් 12ක් එක්වූ මෙවර තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන පිළිවෙළින් ඔස්ට්‍රේලියාවට සහ බංග්ලාදේශයට හිමි වූ අතර, පලඟ ශූරතාව (5 වැනි ස්ථානය) දකුණු අප්‍රිකාවට හිමි විය. එක්සත් අරාබි එමීර්, නේපාලය සහ සත්කාරක හොංකොං 6 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් හිමි කර ගත් අතර, තරගාවලියේ බඳුන ශූරතාව (9 වැනි ස්ථානය) ඕමානයට හිමි විය. එංගලන්තයට 10 සහ නවසීලන්තයට 11 වැනි ස්ථාන හිමි වූ අතර, ඉන්දියාව තරගාවලියේ අවසන් ස්ථානයට පත්විය.
පාකිස්තාන පිල – 72/6 (ඕවර 5.2) මුහම්මද් අක්ලාක් 48, ෆහීම් අෂ්රෆ් 13 (ධනංජය ලක්ෂාන් 6/2, තරිඳු රත්නායක 25/2, ළහිරු මදුෂංක 4/1, නිමේෂ් විමුක්ති 8/1)
ශ්‍රී ලංකා පිල – 76/3 (ඕවර 5) සඳුන් වීරක්කොඩි 34, ළහිරු මදුෂංක 19, තරිඳු රත්නායක නොදැවී 16 (හුසේන් තලාත් 18/1, ෆහීම් අෂ්රෆ් 19/1)
නිරෝෂාන් ප්‍රියංකර
The post හොංකොං සික්සර්ස් ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on දිනමිණ.